විඩීයෝ : එප්පාවල පියෙක් දින 05 ක් ළමයින් බඩගින්නේ තියයි.

Friday, 20 December 2013 - 8:08

%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A9%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
දින 05 ක් තිස්සේ නිරාහාරව සිය නිවසට වී සිටි දරුවන් 05 දෙනෙකු පිළිබඳව එප්පාවල ඉහළගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ, මවද නොමැති එම දරුවන්ව පියා විසින් නිවසේ තනිකර පිටව යෑම හේතුවෙන්. පියා දරුවන්ට පවසා ඇත්තේ ඔවුන්ව බලා කියා ගැනීමට සිය මව වන දරුවන්ගේ මිත්තණිය පැමිණෙන බවයි. මෙසේ තනිකර ගිය දරුවන් අතර අවුරුදු 13 ක සහ 14 ක පිරිමි ළමයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08 ක නිවුන් පිරිමි සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු ද වනවා. කුඩාම ගැහැණු දරුවාගේ වයස අවුරුදු 03 ක්.

මීට වසරකට පමණ ඉහතදී මෙම දරුවන්ගේ මවද විදෙස් ගතවන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා. එහෙත් ඇය විදෙස් ගත වූ බවක් පොලිස් පරීක්ෂණවලින් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එප්පාවල පොලිසිය අදාළ නිවසට යන අවස්ථාවේදී වයස අවුරුදු අටක නිවුන් පිරිමි ළමයා දින කිහිපයක් ආහාර නොගැනීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවී තිබෙනවා. අනතුරුව පොලිසිය එම දරුවා එප්පාවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව අනුරාධපුර මහ රෝහලට එම දරුවා මාරු කර යවා ඇති බව සඳහන්. මෙම දරුවන්ගේ පියා මානසික ආබාධයකින් පෙලෙන බවටද සැක කරන බවයි එප්පාවල පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (19) දිනයේදී රෝහල් ගතකළ දරුවා හැර අනෙකුත් ළමයින් 04 දෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා නිවාසයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවැනි සිද්ධීන් ගණනාවක් පසුගිය කාලය තුළ අනාවරණය වුණා. මෙවැනි අවස්ථාවක වැඩිහිටියන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායකගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි. ඇය ඉල්ලා සිටින්නේ දෙමව්පියන් තම දරුවන්ට අනුකම්පාවක් නොදක්වන්නේ නම් දරුවන්ව ආරක්ෂා කර ගන්නා ස්ථානයකට හෝ දරුවන්ට ආදරය දක්වන පුද්ගලයෙකුට භාරදෙන ලෙසයි.