UPDATE:වීඩියෝ: සන්ධානයේ පුංචි ආණ්ඩු 3ක් අදත් පරදී.

Monday, 23 December 2013 - 13:06

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් තමන්ට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජයට පත්වුණා.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ පළමුවර අයවැය ඡන්ද විමසීම අද (23) නැවත වරක් පැවති අතර එය පරාජයට පත්වූයේ වැඩි ඡන්ද දෙකකින්. පසුගිය 11 වැනිදා පළමුවරට අයවැය විමසන අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය නියෝග කළේ නැවත වරක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දය පවත්වන ලෙසයි. ඒ අනුව එහි සභාපති ඒ.ඞී.කුමාරසිරි අයවැය යෝජනාව යළිත් වරක් අද (23) සභාවට ඉදිරිපත් කළා. 23 දෙනෙකුගෙන් සමන්විත ප්‍රාදේශීය සභාව නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වනවා. අද (23) පැවති ඡන්ද විමසීමේදී උප සභාපතිවරයා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ එක්ව අයවැය පරාජයට පත් කළ බවයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.                                   

මේ අතර, දමන සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය සභාවල අයවැය ද පළමුවරට අද (23) ඉදිරිපත් කෙරුණා. මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සමන්විත දමන, ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 5 කින් පරාජයට පත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ, නිදහස් සන්ධානයේ සුධීර විජේතිලක මන්ත්‍රීවරයා අයවැයට ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර, ඔහු ඡන්ද විමසීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාපතිවරයා වෙත භාර දී තිබෙනවා.                                                   

මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ අයවැය එහි සභාපති තුසිත කුලරත්න විසින් අද (23) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වුනේ වැඩි ඡන්ද 11 කින්. ඊට පක්ෂව ඡන්දය භාවිතා කළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා සමග ඉතිරි සන්ධාන මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළා.

කෙසේ වෙතත්, පළමුවරට අයවැය පරාජයට පත්වූ බෝපේපෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවනවරට ඉදිරිපත් කළ අවස්ථාවේදී වැඩි ඡන්ද 3 කින් එය සම්මත වී තිබෙනවා. නිදහස් සන්ධානයට බලය හිමි මෙම ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 6 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3 ක් පමණයි. සන්ධාන මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියා. පසුගිය 3 වැනිදා අයවැය පළමු වතාවට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වූයේ එක් වැඩි ඡන්දයකින්.

එමෙන්ම, කරන්දෙණිය - වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය සභාවේ අයවැය අද (23) වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. මාතලේ මහනගර සභාවේ අය වැය ද අද සම්මත වුණා. කෙසේ වෙතත්, එහි විපක්ෂ නායක ඩල්ජිත් අලූවිහාරේ කියා සිටියේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නොමැතිව නගරාධිපතිවරයා අයවැය සම්මත කරගෙන ඇති බවයි.
 
මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන 09 ක අයවැය දෙවන වරට පරාජයට පත්වී තිබෙනවා. එලෙස අයවැය පරාජයට පත්වූ මීරිගම ප්‍රාදේශීය සභාවට සහ පෑලියගොඩ, කැස්බෑව නගර සභාවලට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නව සභාපතිවරුන් පත් කර තිබෙනවා. මේ අනුව, මීරිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එහි උප සභාපති සරත් නන්දසිරියි. පෑලියගොඩ නගර සභාවේ උපසභාපති අමිල නිශාන්ත එහි නව සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ තුන් වන ස්ථානයට වැඩිම මනාප ලබාගත් සුමන සුමනවීර මන්ත්‍රීවරයායි. එම නාම ලේඛනය අද දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 



UPDATE: Monday, 23 December 2013 - 7:17 PM
----------------------------------------------------
මාතලේ අයවැය සම්මතයි. හෝමාගම පරදී.

මාතලේ මහ නගර සභාවේ ලබන වසර සඳහා අයවැය අද ඒකඡන්දයෙන් සම්මත වුණා. නගරාධිපති හිල්මි කරීන් මෙහොමඞ් විසින් අද අයවැය සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදී සභාවේ සිට ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මාතලේ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9 ක්. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු විපක්ෂය නියෝජනය කරනවා.

කෙසේ වෙතත් මාතලේ මහ නගර සභාවේ විපක්ෂ නායක ඩල්ජිත් අලූවිහාරේ සඳහන් කළෙ මෙම ඡන්ද විමසීම නීතිවිරෝධි බවයි. ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු සභාවෙන් පිට සිටියදී නීතිවිරෝධී ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු විසින් අයවැය සම්මත කරගත් බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභාවේ රැදී සිටි හිටපු හිටපු නියෝජ්‍ය නගරාධිපති පාලිත ජයසේකරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ  ඝන පූරණයක් පැවති බැවින් නියමිත ආකාරයෙන් අයවැය සම්මත කරගත් බවයි.
 
 මේ අතර හෝමාගම ප්‍රාදේශීය සභාවේ පළමුවර අයවැය ඡන්ද විමසීම අද නැවත වරක් පැවති අතර එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වුණා. මීට පෙර පසුගිය 11 වැනිදා පළමුවරට අයවැය විමසන අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නාගරික කොමසාරිස් කාර්යාලය නියෝග කළේ නැවත වරක් ඡන්දය පවත්වන ලෙසයි.