Update : වීඩියෝ: බදුරලිය රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි.

Wednesday, 25 December 2013 - 19:00

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92.
දින 5 ක් තිස්සේ අඩාලව පැවති බදුරලිය රෝහලේ රෝගී සත්කාරක සේවා මේ වනවිට සාමාන්‍ය පරිදි  සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය අශාන් පතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කටයුතුවලින් පසුගිය 22 වැනිදා ඉවත් වූයේ තමන්ට අපහාසයක් වූ බව පවසමින්. රෝහල් ගතකෙරුණු පුද්ගලයෙකු මියයෑමත් සමග ඔහුගේ ඥාතීන් විසින් රෝහල අසල විරෝධතාවයේ නිරතවුණා. ඒ, මියගිය රෝගියාට නිසි අයුරින් ප්‍රතිකාර කර නොමැති බවට වෛද්‍යවරුන්ට චෝදනා කරමින්. මෙම තත්ත්වයත් සමග තමන්ට අපහාසයක් මෙන්ම ආරක්ෂාවක් නොමැති  බව පවසමින් වෛද්‍යවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත්වුනා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව  වෛද්‍යවරුන් අද සිට යළි සේවයට වාර්තා කිරීමට තීරණය කළා.   

රෝහලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට යොදවා ඇති බව බදුරලිය පොලීසිය සඳහන් කළා. ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන තුරු පොලිස් මුරපොළක්ද රෝහලේ ස්ථාපිත කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා  හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ උපවාසය අද උදෑසන රෝහලේ කටයුතු ආරම්භ වීමත් සමග අවසන් කර තිබෙනවා. පසුව මන්ත්‍රීවරයා බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ අතර මේ වනවිට ඔහු එම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තාවනවා. බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පෙරේදා උපවාසයක් ආරම්භ කළ අතර ඊට  ඊයේ  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ බදුරලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන ද එක්වුණා.

Update : Friday, 27 December 2013 - 12:56
-------------------------------------------------
බදුරලිය රෝහලේ අර්බුදය අවසන්.

දින 5 ක් තිස්සේ අඩාලව පැවති බදුරලිය රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එකඟත්වය පළ කළ බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා. එම සාකච්ඡාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් ද එක්ව සිටියා. එහිදී අදාළ සිද්ධියට පදනම්ව ගැටුම් ඇතිකළ පිරිස් සිදුවූ අත්වැරැද්ද සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගෙන් සමාව ගෙන තිබෙනවා. එසේම වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය එකඟත්වය පළ කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එකඟත්වයක් පළවීම නිසා අද සිට රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි.

පසුගිය දා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බදුරලිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෛද්‍යවරුන් රෝගියාට නිසි පරිදි ප්‍රතිකාර නොකළ බවට චෝදනා කළේ මියගිය පුද්ගලයාගේ ඥාතීන්. පසුව ඔවුන් රෝහල අසල විරෝධතාවකද නිරතවුණා. මෙම සිද්ධිය මුල් කර ගනිමිනුයි බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් තමන්ට අපහාසයක් වූ බව පවසමින් ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්වුණේ.

පසුව බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම උපවාසයක්ද ආරම්භ කළා. ඊයේ  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ බදුරලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන ද ඊට එක්වුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රෝහල විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු කියා සිටියේ තමන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බදුරලිය රෝහලටම ඇතුළත්වන බවයි.

Update : Friday, 27 December 2013 - 7:52
--------------------------------------------------------------
තෙවරප්පෙරුමගේ උපවාසයට ජානිපෙත් එක්වෙයි.

බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ආරම්භ කර ඇති උපවාසයට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ බදුරලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන ද අද (26) එක්වුණා. ඔවුන් දෙදෙනා දෑත් දම්වැලකින් බැඳගෙන එහි රැඳී සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ආරම්භ කර ඇති උපවාසයට අදට දින දෙකක්. බදුරලිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පැවැත්වෙන උපවාසයට සහය පළ කරමින් නගරයේ කඩසාප්පු ද වසා දමා තිබුණා. එමෙන්ම මතුගම - බදුරලිය පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්වී තිබෙන්නේ උපවාසයට සහය පළ කරමින්.

ඊයේ පෙරවරු 9 ට පමණ ඇරඹි උපවාසය විසුරුවා හැරීම සඳහා ඊයේ රාත්‍රියේ කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ එම ස්ථානයට පැමිණියා. පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එහි ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. එමෙන්ම පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සමග ඊයේ උපවාසයට එක්වූ වළල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද රෝහල් ගතකෙරුණේ අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන්.

පසුගිය දා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බදුරලිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෛද්‍යවරුන් රෝගියාට නිසි පරිදි ප්‍රතිකාර නොකළ බවට චෝදනා කළේ මියගිය පුද්ගලයාගේ ඥාතීන්. පසුව ඔවුන් රෝහල අසල විරෝධතාවකද නිරතවුණා. මෙම සිද්ධිය මුල් කර ගනිමිනුයි බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් තමන්ට අපහාසයක් වූ බව පවසමින් ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්වුණේ. මේ නිසා රෝහල දින 5 කට ආසන්න කාලයක් වසා දමා ඇති අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ රෝහල විවෘත කිරීම රජයේ වගකීමක් බවයි.

කෙසේ නමුත් බදුරලිය රෝහලේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මීට පොලිස්පතිවරයා මෙන්ම බදුරලිය ප්‍රදේශවාසීන් ද සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක සඳහන් කළා.



Update : Thursday, 26 December 2013 - 07:55 PM
-------------------------------------------
තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ සහායට කඩ සාප්පුත් වැසේ.

බදුරලිය රෝහල යළි විවෘත කරන ලෙස ඉල්ලා කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඊයේ (25) ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විටත් ක්‍රියාත්මකයි. මන්ත්‍රීවරයා සමඟ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු බදුරලිය රෝහල ඉදිරිපිට පැවැත්වෙන උපවාසයට එක්ව සිටිනවා. අද (26) දිනයේ උපවාසයට සහාය දක්වමින් මතුගම - බදුරලිය පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති අතර බදුරලිය රෝහල අවට සියලූම කඩ සාප්පු ද වසා දමා තිබුණා.

Update : Thursday, 26 December 2013 - 13:23
-------------------------------------------
එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම තවමත් මාරාන්තික උපවාසයේ.

බදුරලිය රෝහල යළි විවෘත කරන ලෙස ඉල්ලා කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඊයේ (25) ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි. මන්ත්‍රීවරයා සමඟ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු බදුරලිය රෝහල ඉදිරිපිට ඊයේ (25) දහවල් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මෙහිදී ප්‍රදේශවාසීන් ද විරෝධතාවක නිරත වූයේ රෝහල යළි කඩිනමින් විවෘත කරන ලෙස බලධාරීන්ට බලකරමින්. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ පොලීසිය විරෝධතාකරුවන්ට පහරදීමට පියවර ගත් බවයි.  

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ජනතාවට අවහිරතාවක් වූ බැවින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගත් බවයි.

පසුගිය දා බදුරලිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. අනතුරුව රෝහල් භූමියට පැමිණි පිරිසක් එහි සේවකයන් නිසි පරිදි ප්‍රතිකාර නොකළ බවට ද චෝදනා කළා.  මෙම සිද්ධිය මුල් කර ගනිමින් බදුරලිය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අපහාසයක් වූ බව පවසමින් එහි වෛද්‍යවරුන් සහ සේවකයන් විසින් 21 වන දා රාත්‍රියේ සිට බදුරලිය රෝහල වසා දමා සේවා කටයුතුවලින් ඉවත්ව සිටිනවා.

Update : Thursday, 26 December 2013 - 7:50
--------------------------------------------------------------
එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක.

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු බදුරලිය රෝහල ඉදිරිපිට අද (25) මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ, දැනට වසා දමා තිබෙන බදුරලිය රෝහල යළි විවෘත කරන ලෙස බලධාරීන්ට බල කිරීම සඳහායි. පසුගිය දා බදුරලිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. අනතුරුව රෝහල් භූමියට පැමිණි පිරිසක් එහි සේවකයන් නිසි පරිදි ප්‍රතිකාර නොකළ බවට ද චෝදනා කළා.  මෙම සිද්ධිය මුල් කර ගනිමින් බදුරලිය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අපහාසයක් වූ බව පවසමින් එහි වෛද්‍යවරුන් සහ සේවකයන් විසින් 21 වන දා රාත්‍රියේ සිට බදුරලිය රෝහල වසා දමා සේවා කටයුතුවලින් ඉවත්ව සිටිනවා. අද මෙම උපවාසය ආරම්භ කිරීමට පෙර රෝහල ඉදිරිපිට ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් ද පැවැත්වුණා. කෙසේ වෙතත්, උපවාසය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ ගැටළුවට විසදුමක් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවයි.  
 
කෙසේ වෙතත්, දේශපාලන වුවමනා මත පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මෙලෙස උපවාසයක නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ.