දෙමළ සන්ධානය ජිනීවා මෙහෙයුමට සැරසේ.

Saturday, 28 December 2013 - 19:21

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
ලබන මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට පෙර යුද්ධයේ අවසන් සමය පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රකාශ කළේ නැතහොත් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක විය හැකි බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවක් කැනඩාවේදී සකස් කෙරෙන බව ඇතැම් මාධ්‍ය වාර්තා කළා. ඊට දෙමළ ජාතික සන්ධානයට ද ආරාධනා කර ඇති බවයි එහි දැක්වුණේ. මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි වන බව එමගින් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. එවැනි සාකච්ඡාවකට හෝ ජිනීවා මානව හිමිකම් සමුළුවට යන බවක් ඔහු එහිදී සනාථ කළේ නැහැ.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමේ සූදානමක් පවතින්නේ දැයි අප දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගෙන් ද විමසීමක් කළා. හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු කියා සිටියේ ජිනීවා සැසිවාරය සඳහා තම පක්ෂය සහභාගි වන්නේ ද යන්න මෙතෙක් නිශ්චිත වශයෙන් තීරණය කර නොමැති බවයි. එහෙත්, පසුගියදා වව්නියාවේදී පැවති සමුළුවේදී ඒ පිළිබඳව සාකච්ඡා වූ බව ඔහු කියා සිටියා.
 
මේ අතර, පී.ටී.අයි ඉන්දීය ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ලබන මාර්තුවේ ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී මෙරට යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉන්දීය ප්‍රවෘත්ති සේවාවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක දෙමළ ජාතික සන්ධානය නිරත වන බවයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙලා දුටුවා. ඔහු සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය ජිනිවා මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි.