පිල්ලේගේ වාර්තාව මාර්තු 26.

Sunday, 29 December 2013 - 18:41

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+26.
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ලබන මාර්තු 26 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. එහි අතුරු න්‍යාය පත්‍රයේ ඒ බව සඳහන්. එහි දැක්වෙන පරිදි මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව එය සාකච්ඡා සඳහා විවෘත වනු ඇති. එහිදී ලක් රජයටද ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කළ හැකියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 25 වන සැසිවාරය ලබන වසරේ මාර්තු 03 වැනිදා ආරම්භ වන අතර, අවසන් වන්නේ මාර්තු 28 වැනිදායී. ඉදිරිපත් කරන  ඕනෑම යෝජනාවක් සම්මත කරගනු ලබන්නේ එහි අවසන් දිනයේදීයි.

පසුගිය සැප්තැම්බරයේ පැවති ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාචික වාර්තාව ඉදිරිපත් කළ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මෙරට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කරලීම සඳහා කාලවිරාමයක්ද ලබා දුන්නා. 2014 වසරේ මාර්තු වනවිට එවැනි ප්‍රගතියක් ලැබීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට සිදුවනු ඇති බවයි ඇය එහිදී කියා සිටියේ. සිය ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව එල්ල වී ඇති චෝදනා පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන හෝ පැහැදිලි ක්‍රියාවලියක් ආරම්භ කර නොමැති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින බවද ඇය කියා සිටියා. මාර්තු සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍යයද සිය උනන්දුව පළ කර තිබෙනවා. මේ තත්ත්වය මත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මීළඟ ජිනීවා සැසිවාරයද ශ්‍රී ලංකාවට අභියෝගයක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන  ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව රජය පවසනවා. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා මේ වනවිටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. විශේෂයෙන්ම මෙරට සංහිඳියාව ඇති කිරීම සඳහා රජය ගෙනයන සාර්ථක වැඩපිළිවෙල ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලූම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.