ඉන්ධන කප්පාදුවක් නැහැ

Friday, 05 June 2015 - 12:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඉන්ධන සැපයුමෙහි අඩුවක් පවතින බවට විවිධ වාර්තා පළ වුවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි. ඕ.සී සමාගම ප්‍රකාශ කළා. ඒ අදාළ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලූ ඉන්ධනහල්වලට අඩුවකින් තොරව ඉන්ධන බෙදා හරින බව එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම සහ මෙරට පවතින ඉන්ධන මිල හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් දැනට රුපියල් 25 ක් පමණ පාඩු ලබනවා. ඞීසල්වලින් රුපියලක පමණ පාඩුවක් සංස්ථාවට සිදුවන බව සඳහන්. කෙසේ වෙතත්, බෙදා හැරීම සීමා නොකර ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත මිල සූත්‍රය මගින් පාඩුව අවම කර ගැනීමට අපේක්ෂා කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා අප කළ විමසීමකදී කියා සිටියේ.

 මේ අතර, ලංකා අයි. ඕ.සී පෙට්‍රල් සැපයුම සියයට 50 කින් අඩු කර ඇති බවට ද වාර්තා පළ වුණා. එහෙත් කිසිදු අයුරකින් ඉන්ධන සැපයුමේ අඩුවක් සිදුකර නොමැති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් දක්වාලේ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙට්‍රල් අලෙවියෙන් පාඩුවක් සිදුවුවත්, තොග රැස් කිරීම හෝ බෙදා හැරීමේ කප්පාදුවක් සිදුකර නොමැති බවයි.