ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාව හමුවෙයි

Sunday, 14 February 2016 - 8:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය විශාකපට්නම් හිදී අද පැවැත්වෙනවා.

පළමු තරඟ දෙකේදී කණ්ඩායම් දෙකම එක් ජයග්‍රහණය බැගින් වාර්තාකළ අතර, තරඟාවලියේ ජයග්‍රාහකයන් තීරණය වන්නේ මෙම තරඟයෙන්.

පළමු තරඟයේදී වේග පන්දු යවන්නන්ට වාසිදායක තණතිල්ලක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නවක වේග පන්දු යවන්නන් ඉහළ දස්කම් දැක්වීමට සමත්වුණා.

කෙසේ නමුත් එහිදී පරාජය වූ ඉන්දීය පිල දෙවන තරඟය සඳහා සකස් කළේ දඟ පන්දු යවන්නන්ට උචිත තණතිල්ලක්. රන්චි හි පැවති එම තරඟයෙන් ජයගත් ඉන්දීය පිල විශාකපට්නම් හිදී ද වේග පන්දු යවන්නන්ට සහයක් නොවන තණතිල්ලක් සකස් කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය අනාවරණ කළා.

දෙවන තරඟය ජයග්‍රහණය කළ ඉන්දීය පිල අද තරඟය සඳහාද ඒ ආකාරයෙන්ම යොදාගනු ඇතැයි අපේක්ෂිතයි.

දෙවන තරඟයේදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට නිරෝෂන් දික්වැල්ල අද තරඟයට යොදාගැනීමට අවස්ථාවක් ඇති අතර, සීක්කුගේ ප්‍රසන්න වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ යොදාගැනීමට ඉඩ ඇති බව සඳහන්.