ඉන්දියාවට යන්න පකිස්ථානයට අවසර

Saturday, 12 March 2016 - 8:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මෙවර ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානයේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම සහභාගි කරවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඊයේ අනුමැතිය ලබාදුන්නා.

ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර මාර්තු 19 වන දා පැවැත්වෙන ලෝක කුසලාන තරගය සඳහා පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවට කොල්කටාව අයත් බටහිර බෙංගාල ප්‍රාන්ත රජයෙන් සහතිකයක් ලැබීමත් සමඟයි.

තරඟය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධර්මසාලා ක්‍රීඩාංගණයේදීයි.

එහෙත් තරඟයට ආරක්ෂාව ලබාදීම ගැටළුවක් බව එම ප්‍රාන්තයේ මහඇමතිවරයා ප්‍රකාශ කර තිබුණා.

ඉන් අනතුරුව පාකිස්තාන ආරක්ෂක නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසු කියා සිටියේ තරඟය එහි පැවැත්වීම පාකිස්තාන පිළට අවදානම් සහිත බවයි.

ඒ අනුව පාකිස්තානය ඉල්ලා සිටි පරිදි තරඟය කොල්කටාව වෙත මාරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එකඟ වුණා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල විධායක කමිටුවේ සභාපති නජාම් සේති කියා සිටියේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරක්ෂාව පිළිබද සහතිකයක් ලැබීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අද දිනයේ ඉන්දියාව බලා නික්මෙන බවයි.