ක්‍රිකට් විනාශය කරා ගෙනගිය, සනත් ජයසුරියගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව එළියට

Tuesday, 29 August 2017 - 16:32

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%2C+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට ඍජුවම වගකිව යුතු පාර්ශවයක් ලෙස සමාජයේ දැඩි විවේචනයට ලක්වූ සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පංච පුද්ගල තේරීම් කමිටුව ඒකාබද්ධ ඉල්ලා අස්වීමේ ලිපිය අද තමන් වෙත භාරදුන් බවයි.

සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළේ පසුගිය වසරේ මැයි 01 වනදායි.

 එතැන් සිට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි කඩා වැටීමකට ලක්වුණා.

මෙම පත් කිරීමේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ බිමේදී සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ අයර්ලන්තය යන කණ්ඩායම් සමඟ පැවති තරඟ හැරුණු විට ජය ගැනීමට හැකිවූයේ තරඟ 03 ක් පමණයි.

එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ එක්දින තරඟාවලියක් පරාජය වීමේ අවමානය විඳ ගැනීමටත් ශ්‍රී ලංකාවට සිදුවුණා.

සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවේ නිල කාලය තුළ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ තරඟ 03 ට 0 බැගින් වූ පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ නවක කණ්ඩායමක් ලෙස සැලකුණු බංග්ලාදේශය හමුවේද ටෙස්ට් තරඟයක් පරාජයට පත්වුණා.

තේරීම් කමිටුවේ මාස 15 ක ධුර කාලය තුළ පැවති එක්දින තරඟ 31 ක් සඳහා ඔවුන් භාවිත කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 41 ක්.

අදාළ කාලය තුළ පන්දුවාර විස්ස තරඟ සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුත්, ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුත්, භාවිත කිරීමට තරම් සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව අස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

වරින්වර ක්‍රීඩකයින් මාරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ ස්ථාවරවීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වූයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ඉවසීමේ සීමාවද අවසන් අන්තයට ගෙන යමින්.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ පසුගියදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට දැවැන්ත කළු පැල්ලමක් එක් කරමින් ක්‍රිකට් පරිපාලකයින්ට සහ තේරීම් කමිටුවට එරෙහි ජනතා විරෝධය පුපුරා යෑමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තේරීම් කමිටුවකට එල්ල වූ දැවැන්තම ජනතා අප්‍රසාදය හා විරෝධය හමුවේ සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවේ නිලධාරීන් අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

නව තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත වූවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට වැටී ඇති දරුණු ආගාධයෙන් යම් කිසි මට්ටමකට හෝ ගොඩගැනීමට වසර කිහිපයක් ගතවනු ඇති.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ටෙස්ට්, එක්දින මෙන්ම පන්දුවාර විස්ස කණ්ඩායම් වර්ගීකරණයේ ඉතා පහළ තත්ත්වයකට ඇද වැටී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සනත් ජයසූරිය ප්‍රමුඛ හිටපු තේරීම් කමිටුව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අසාර්ථකම තේරීම් කමිටුව ලෙස ඉතිහාසයට එක් වනු නොඅනුමානයි.