ශ්‍රී ලංකා පිළ ශ්‍රී ලංකාවේදී ලැබු දැවැන්තම පරාජයට ලක්වෙයි - ලෝක කුසලානයට ඍජුවම යන්න තිබු අවස්ථාවත් අහිමි වෙයි !

Friday, 01 September 2017 - 6:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%21
දිගින් දිගටම පරාජයේ ආස්වාදය පමණක්ම භුක්ති විදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) තවත් දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.

ඒ ඉන්දියාව සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වන එක්දින තරගය පරාජයට පත්වීමත් සමගයි. දහසකට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් ආරක්ෂාවට යොදවා සිටි අතර පොලිස් කැරලි මර්දන ඒකකය ද ඊයේ තරගයට සීරුවෙන් තබා තිබුණේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධීන් මුල් කර ගනිමිනුයි.

ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 තුළ කඩුලූ 5 ක් දැවී ලකුණු 375 ක් ලබා ගත්තා.

විදෙස් කණ්ඩායමක් මෙරට රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

එහිදී විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ශතක වාර්තා කරන්නට ද සමත් වුණා.

ලසිත් මාලිංගගේ 300 වන එක්දින කඩුල්ල ලෙසින් විරාත් කෝලි  දැවී ගියා.  

මෙම කඩඉම පසුකල ශ්‍රී ලංකාවේ සිව්වන පන්දු යවන්නා බවට  පත්වුණු ලසිත් මාලිංගට ඉන්දීය ක්‍රීඩකයින් සුබ පැතුම් ද එක් කිරීමට අමතක කළේ නැහැ.

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවැත්වෙන විට ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරීයාම සාමාන්‍ය තත්ත්වයක්.

කෙසේ වෙතත්, ඊයේ පැවති තරගය නැරඹීම සදහා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටියේ නැහැ.

 තරගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් යොදවා තිබුණ ද ඊට සාපේක්ෂව ක්‍රීඩා ලෝලීන් පැමිණ නොසිටීම ද විශේෂත්වයක් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 207 ක්.

ඇන්ජලෝ මැතිව්ස් පමණක් සටන්කාමී අයුරින් ලකුණු 70 ක් රැස් කළා.

කෙසේ වෙතත්, එහිදී ශ්‍රී ලංකාව මෙම තරඟය පරාජයට පත්වූයේ ලකුණු 168 කින්.

එය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලෙසින්.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී නොකඩවා ලද 6 වන එක්දින තරග පරාජය ද මෙය වනවා.

මේ අතර, ඉන්දියාව වෙතින් ඊයේ ලද හතර වන එක්දින පරාජයෙන් අනතුරුව 2019 ලෝක කුසලාන තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

2019 ලෝක කුසලාන තරගාවලිය සදහා යොදා ගැනෙන්නේ කණ්ඩායම් 10 ක් පමණයි.

ඒ සදහා අයි.සී.සී එක්දින දර්ශකයේ ප්‍රථම ස්ථාන අටට ඇතුළත් කණ්ඩායම් ස්වයංක්‍රීයව සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව දැනට දර්ශකයේ 8 වන ස්ථානයේ රැදී සිටින අතර 9 වන ස්ථානයේ සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

සැප්තැම්බර් 30 වනදා කාල විරාමය වනවිට ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලි ස්ථානය තහවුරු කර ගැනීම සදහා ඉන්දියාව සමග එක්දින තරග දෙකක් හෝ ජයග්‍රහණය කළ යුතු වුණා.

එහෙත්, ඊයේ ලද පරාජය නිසා බටහිර ඉන්දීය කොදෙව් පිල එම ස්ථානය හිමිකර ගැනීමේ අවදානමක් පවතිනවා.

දැනට පවතින තත්ත්වයේදී වුව ද කොදෙව් පිල අයර්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගය සහ එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 5 ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියට නියත අවස්ථාව හිමිකර ගන්නේ කොදෙව් පිලයි.

ඉරිදා පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් කොදෙව් පිල අයර්ලන්ත තරගය ජයග්‍රහණය කොට එංගලන්ත තරගාවලිය 4 ට එකක් ලෙස ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සදහා ප්‍රමාණවත් වනවා.

ස්වයංක්‍රීය ලෙස තේරීමේ අවස්ථාව මග හැරුණහොත් ශ්‍රී ලංකාවට, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවනවා.