නව ක්‍රිකට් තේරීම් කමිටුව 18 වනදා

Thursday, 14 September 2017 - 9:39

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+18+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ක්‍රිකට් නව තේරීම් කමිටුව ලබන 18 වනදා පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාකිස්ථානය සමග ලබන 20 වනදා ආරම්භ වන තරගාවලියේ ටෙස්ට් සංචිතයද මෙම නව තේරීම් කමිටුව විසින් පත් කරනු ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ක්‍රියාත්මක වන අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් පසුගිය 29 වනදා ඉල්ලා අස්වුණා.  

කෙසේ වෙතත් ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද තේරීම් කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ නුදුරේදීම එම කමිටුවේ සාමාජිකයින් පත්කරනු ඇති බවයි.

ඒ අනුව අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්වනු ඇති බවට මීට පෙර ඇතැම් මාධ්‍ය පළකර තිබුනා.

මේ අතර ක්‍රිකට් බලධාරීන් බොර දියේ මාළු බාන්නට සූදානම් වන බවට පුවතක් හිරු ස්පෝට්ස් වෙත වාර්තා වුනා.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රියාත්මක වන අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඊට දින 3 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කළා.

හිරු ස්පෝර්ට්ස් හිටපු තේරීම් කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු සම්භන්ධ කර ගත්තේ ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමෙන් පසුව සිය නිල කාලයෙන් පසුව පැවැත්වෙන තරගාවලියක් සඳහා සංචිතයක් නම් කිරීම කෙතරම් සදාචාරසම්පන්න ක්‍රියාවක් දැයි විමසීමටයි.

එහිදී හිටපු තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙක් ම තමන් මෙම තේරීම් සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවූ බව අප සමගින් පැවසුවා.

එසේනම් තේරීම් කමිටුවක මැදිහත්වීමෙන් තොරව මූලික සංචිතයක් සඳහා හෝ ක්‍රීඩකයන් තේරුවේ කවුද?

මේ පිලිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික තීරණයක් මෙලෙස මූලික සංචිතයක් ලෙස එළිදක්වා ඇති බවයි.

එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත්ල තේරීම් කමිටුවක් නොමැති නිසා එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

පාකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් පමණයි.