ශ්‍රී ලංකා - පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලියට, ගඩාෆි ක්‍රීඩාංගණයේ 12,000 ක පොලිස් බල ඇණියක්

Sunday, 29 September 2019 - 13:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%9C%E0%B6%A9%E0%B7%8F%E0%B7%86%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+12%2C000+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්ථාන විස්සයි ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව සඳහා පොලිස් භටයන් 12,000 ක් යෙදවීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 2009 වසරේ මාර්තු 3 වනදා ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූයේ මෙම ක්‍රීඩාංගණය ආසන්නයේදියි.

ඒ අනුව ලාහෝර් පොලිසියේ මෙහෙයුම් පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අෂ්ෆාක් ඛාන් කියා සිටියේ ඔක්තෝම්බර් 5 වනදා සිට 9 වනදා දක්වා පැවැත්වෙන තරගාවලියට ආරක්ෂාව සැපයීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 189 දෙනෙකුද එක්වන බවයි.

ඔවුන් ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් දෙකටම ආරක්ෂාව සපයනු ලබනවා. එමෙන්ම නරඹන්නන් සියලූදෙනා දැඩි පරීක්ෂාවකට ලක් කොට ක්‍රීඩාංගණයට ඇතුළු කරන අතර, තහනම් ද්‍රව්‍ය කිසිවක් රැගෙන ඒමට ඔවුන්ට අවසර ලැබෙන්නේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කල් දමනු ලැබූ දෙවන එක්දින තරගය හෙට කරච්චියේදි පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය කල්දමනු ලැබුවේ සිකුරාදා පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන්.

පාකිස්ථාන කාලගුණ අංශ ප්‍රකාශ කළේ අද දිනය වනතුරු එහි වැසිබර කාලගුණයක් පවතින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මෙලෙස පාකිස්ථානයේ නිල සංචාරයක නිරතවන්නේ වසර 10 කින් අනතුරුවයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සිඩ්නි නුවරදී මේ වනවිට ක්‍රියාත්මකයි.

කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිලේ නායිකා මෙග් ලැනින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළ කඩුලූ 4 ක් දැවී ලකුණු 217 ක් රැස් කළා.

එහිදී බෙත් මූනි ලකුණු 113 ක් රැස් කිරීමට සමත්වුණා. මේ අනුව ශ්‍රී ලංකා කාන්තා පිලට ලැබී ඇත්තේ ලකුණු 218ක දැවැන්ත ඉලක්කයක්.