බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා චාරිකාව අවිනිශ්චිත වේ (වීඩියෝ)

Tuesday, 15 September 2020 - 8:51

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියට අදාළව යෙදී ඇති බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය යළි අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, දිවයිනට පැමිණෙන බංග්ලාදේශ ක්‍රීඩකයන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු කාලසීමාව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවීම හේතුවෙන්.

බංග්ලාදේශ ක්‍රිකට් පිල, ශ්‍රී ලංකාවේදී දින 14 ක් නිරෝධායනය විය යුතු බවට  ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දීමක් කරනු ලැබුවා.

එහෙත් ඊට පෙර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ තමන් දින 7 ක නිරෝධායනයක් අපේක්ෂා කරන බවයි.

මේ මස 26 වනදා දිවයිනට පැමිණෙන බංග්ලාදේශ පිල දින 14 ක් නිරෝධායනයට ලක් වුවහොත් ඔක්තෝම්බර් 23 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට සූදානම්වීමට ඉතිරිවන්නේ සතියක පමණ කාලයක් බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් සඳහන් කළේ.

එම තත්ත්වය යටතේ ටෙස්ට් තරගාවලියට සහභාගිවීම දුෂ්කර බව ඔහු කියා සිටියා.

මේ අතර බංග්ලාදේශ පිලේ ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කොට යළි ඇඟයීමක් කරන්නැයි ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය තවමත් ලොව පුරා ව්‍යාප්තව පවතින අතර, එය වැළැක්වීමේ පියවර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි.

එහෙත් කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යාමේ වැදගත්කම සැළකිල්ලට ගෙන බංග්ලාදේශ පිල සම්බන්ධයෙන් කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ උපදෙස් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.