ඔලිම්පික් උළෙල, විනාඩියකට නිහඬ වෙයි

Friday, 23 July 2021 - 20:26

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
32 වන ඔලිම්පික් උළෙලේ සමාරම්භය ජපානයේ ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී අද සනිටුහන් වුණේ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවති පළමු ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර 1964 වසරේ ඔලිම්පික් සමාරම්භක උත්සවය පැවැත්වුණේ ද මෙම ක්‍රීඩා පිටියේදියි.

එම උළෙලට 68,000කට ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්ව සිටි නමුත් කොවිඩ් අවදානම හේතුවෙන් අද එය රාජ්‍ය නායකයින් ඇතුළුව සම්භාවනීය අමුත්තන් 950කට සීමා වුණා.

ඒ අතරට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, ජපාන අග්‍රාමාත්‍ය යොෂී හයිඩි සුගා ඇතුළු රාජ්‍ය නායකයින් 15 දෙනෙකු සහ ඇමරිකානු ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් ද එක්වුණා.  

මෙරට වේලාවෙන් පස්වරු 4.30ට පමණ ජපාන ජාතික ධජය ඔසවා ඔලිම්පික් උළෙලේ ආරම්භය සනිටුහන් වුණේ විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයකින්.

කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ලෝක වැසියන් සිහි කිරීම වෙනුවෙන් විනාඩියක නිහඬතාවක් පළ කෙරුණේ ඉන් අනතුරුවයි.

පසුව ජපාන හෝඩියට අනුව අකාරාදී පිළිවෙලට ඔලිම්පික් උළෙලට සහභාගි වන රටවල් 204 සහ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගණයට පිවිසුණා.

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ආචාර්ය පෙළපාලියෙන් ටෝකියෝ ක්‍රීඩාංගණයට පිවිසියා.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,238ක් එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු හෙට තරඟ බිමට පිවිසෙනවා.

ඒ අනුව කාන්තා මිටර් 100 සමනල ආර පිහිණුම් ඉසව්වේ මුලික වටය සදහා අනීකා ගෆුර්, පිරිමි බැඩ්මින්ටන් ඉසව්වේ මුලික වටයේ තරඟ සඳහා එෆ් කාණ්ඩයෙන් නිලුක කරුණාරත්න සහ මීටර් 10 කාන්තා වායු රයිෆල් වෙඩි තැබීමේ තරඟයේ සුදුසුකම් ලබාගැනීමේ වටයට ටෙහානි එගොඩවෙල හෙට අලුයම තරඟ වදිනු ඇති.