ශ්‍රී ලංකාව, ඕමාන විස්සයි විස්ස තරඟාවලිය ජය ගනී

Sunday, 10 October 2021 - 6:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඕමානය සමග පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඕමානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

අකිබ් ඉල්යාස් ලකුණු 59යි.

ඔහුගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

මේ අතර ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමත් ඊයේ තරගයේදී දැක ගන්නට ලැබුණු අතර විටෙක චාමික කරුණාරත්න විසින් මහිෂ් තික්ෂන ට බැන වැදුණා.

ලහිරු කුමාර ලකුණු 20කට කඩුලු 2ක් සහ චාමික කරුණාරත්න ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තා.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ පුහුණුකරුවන්ගේ වැඩි සැලකිල්ලක් හිමිවන අකිල ධනංජය මෙම තරගයේදී ලද අවස්ථාවට පයින් ගසනා අයුරු දක්නට ලැබුණා.

ඒ ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 3දී ලකුණු 33ක් ඕමාන පිතිකරුවෙකුට පුජා කරමින්.

ලෝක කුසලානය කටමුල තියා ගෙන එක් ක්‍රීඩකයකු ගැන පමණක් දිගින් දිගටම විශ්වාසය තබමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරන්නේ කුමන අරමුණින් ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

අකිල පන්දුවාර 20 ලෝක කුසලානය නම් කළ සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් අතර සිටි අතර ඒ අනුව ඔහුට මෙම තරග දෙකේදීම අවස්ථාව ලබා දුන්නේ ලෝක කුසලාන අවසන් සංචිතයේ සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම බංකුවේ තබමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා තරගය ජය ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33යි.

ශ්‍රී ලංකාව යාන්තමින් ජයග්‍රහණය කරා රැගෙන ගියේ භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න 6 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 74ක නොබිදුනු සබදතාවයක් එක් කරමින්.

භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න ලකුණු 35 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් නදිම් කඩුලු 2ක් බිඳ හෙලුවා.

මේ ජයත් සමඟ තරග දෙකකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-0ක් ලෙස ජය ගත්තා.

ඕමාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට එක්වීම සඳහා ඕමානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි.

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ලබන 17වැනිදා ආරම්භවීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාව සමඟත් පෙර පුහුණු තරග 2කට මෙම මස 12 වැනිදා සහ 14 වැනිදා එක්වෙනවා.

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන 18 වැනිදා නැමීබියාව සමඟින් පැවැත්වීමට නියමිතයි.