සභාපති පිලට එරෙහි තරගය ම වැස්සට හේදෙයි

Friday, 19 November 2021 - 6:35

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ටෙස්ට් තරග සංචාරයක නිරත ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහි ව පැවැත්වීමට නියමිත ව තිබූ සිව්දින පුහුණු තරගය එක ම පන්දුවක් හෝ නො යවා ම අතහැර දැමීමට සිදු වුණා.

තරගයේ අවසන් දිනය වුණු නොවැම්බර් 17 වැනි දා දිනයේ වර්ෂාව ඇද නො හැලුණු නමුත් පෙර දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් හතරේ සීමාව ආසන්න ප්‍රදේශයේ තෙත බරිත තත්ත්වක් පැවතුණා.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගයේ දී සිව්වැනි දිනද පිටිය නිරීක්ෂණය කළ විනිසුරුවෝ තරගය දිවා ආහාරයට පෙරම අතහැර දැමීමට තීරණය කළා.

ඒ අනුව ලබන 21 වැනි දා ආරම්භ වන තරග 2කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියට කණ්ඩායම් දෙක ම පුහුණු තරගයකින් තොරව ක්‍රීඩා කරනු ඇති.

ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් ගණනාවක් ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට ඇතුළත් ව තිබුණ ද ඔවුන්ට රතු පන්දුවෙන් පුහුණුව ලබා ගැනීමට තිබූ හොඳ ම අවස්ථාව වර්ෂාව අහිමි කර සිටියේ අවාසනාවන්ත ලෙසින්.

ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, පළමු වැනි තරගය 25 වැනි දා අවසන් වන අතර, දෙවැන්න 29 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.