කෝලි සහ ඉන්දීය පිල දඬුවම් නො ලබා බේරෙයි

Saturday, 15 January 2022 - 10:06

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගයේ දී ඩී.ආර්.එස්. හෙවත් විනිසුරු තීරණ ඇගයීමේ විනිශ්චයකට වාචිකව විරුද්ධත්වය පළ කළ නායක විරාට් කෝලි සහ රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දීය පිලේ ක්‍රීඩකයන්ට එරෙහි ව තරග තීරකයන් හෝ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය කිසිදු චෝදනාවක් එල්ල කර නැහැ.

දකුණු අප්‍රිකානු පිලේ ක්‍රීඩක ඩීන් එල්ගාර්, අශ්වින්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය බවට විනිසුරු තීරණය කළ අතර, දකුණු අප්‍රිකාව එම තීරණය ඩී.ආර්.එස් ක්‍රමය යටතේ ඇගයීමට යොමු කළා.

එහි දී පන්දුව කඩුල්ලට උඩින් ගමන් කරන බව පන්දුවේ තාක්ෂණික පථය මගින් හෙළි වූ අතර, එල්ගාර් නො දැවුණු ක්‍රීඩකයෙකු බවට තීරණය කෙරුණා.

ඊට ඉන්දීය ක්‍රීඩකයන් එකඟ වූයේ නැහැ.

නායක විරාට් කෝලි කඩුල්ලේ මයික්‍රෆෝනය භාවිත කරමින් සුපර් ස්පෝට් පිටියේ පාලකයන්ට චෝදනා කළ අතර අශ්වින් කියා සිටියේ, සිය ක්‍රීඩකයන් 11 දෙනාට එරෙහිව මුළු රටක් කටයුතු කරන බවයි.

ඊයේ අවසන් වූ මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව පැහැදිලි ජයක් අත් කර ගත්තේ තරගාවලිය ද ජයග්‍රහණය කරමින්.

කෙසේ නමුත් ඉන්දීය නායකයාට චෝදනා එල්ල නො කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් තරග තීරකයින්ට සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට දොස් නගා තිබෙනවා.