ක්‍රිකට් ලෝක කුසලාන කිරුළේ මෞලි මංගල්‍යය අද

Sunday, 19 November 2023 - 7:33

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9E%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (19) පැවැත්වෙනවා.

ඒ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

එක් රන් කිරුළක් වෙනුවෙන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍ය 10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටුණා.

එහිදී ක්‍රිකට් දේවත්වයෙන් සලකන අසල්වැසි භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ,මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 8 ම ජය ගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ ප්‍රතිමල්ලවයින් බවට පත් වුණා.

2003 වසරේ එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ප්‍රතිනිර්මාණය කරමින් මේ දෙපිලම අද තරග බිමට පිවිසෙද්දී, තරගය සියැසින් දැක බලා ගැනීම සදහා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි උනන්දුවක් පවතින බව ඉන්දීය මාධ්‍ය ඊයේ (18) වාර්තා කර තිබුණා.

අවසන් මහා තරගයේ අවම ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දියානු රුපියල් තිස්දෙදාහක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් ලක්ෂ විසිපන්දාහක් පමණ වනවා.

සිව්වැනි කාණ්ඩයේ ප්‍රවේශ පත්‍රයක මිල දැක්වෙන්නේ ඉන්දියානු රුපියල් එක් ලක්ෂ අසූහත්දාහස් හාරසිය හතක් ලෙසටයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂ තිස්හතරදාහක් පමණ වනවා.

තරගාවලියේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය සමඟ ඉන්දු - ඔස්ට්‍රේලියා නායකයින් ඊයේ (18) නිල ඡායාරූපය සඳහා පෙනී සිටියා.

එමෙන්ම දෙරටේ ක්‍රීඩකයින් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසිය සදහා ද එක්ව සිටි අතර එහිදි තරගයට භාවිත කරන තණ තීරුවේ ඡායාරූපයක් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ලබාගත් ආකාරය විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයක් දිනා ගෙන තිබුණා.

ඒ ඉන්දියානුවන් අවසන් මොහොතේදී තණ තීරු වෙනස් කිරීමට පියවර ගන්නා බවට එල්ලවන චෝදනා පවතින වටපිටාවක් තුළයි.

පස්වරක් ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබා සිටින ඕස්ටේලියාව සිය, හය වැනි එක්දින ලෝක කුසලානය සිය දෝතට ගැනීමට අද මාන බලද්දී , ඉන්දියාව වසර 12කට පසු සිය මව්බිමේදී එක්දින ලෝක කුසලානයක පහස විද ගන්නට අද සැරසෙනවා.

ඒ අනුව 13 වැනි එක්දින ලෝක කුසලානයේ අභිමානය සොයා ඉන්දු - ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් අද පස්වරු දෙකේ සිට තරග බිමට පිවිසෙනු ඇති.

මේ අතර තම කණ්ඩායම, ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිල් පැහැති කමිස ඇඳගත් ලක්ෂයකකට අධික පිරිසක් නිහඬ කරවීම තරම් තෘප්තියක් නොමැතිවනු ඇති බවයි.