General16 April 2015

මිලිබෑන්ඞ්ගේ අවුරුදු සුබපැතුමට බ්‍රිතාන්‍යයේ සිංහල ජන කොටස්වල විරෝධය

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උත්සවය නිමිත්තෙන් නිකුත් කළ සිය පණිවුඩය මගින් දෙමළ ජන කොටස පමණක් ආමන්ත්‍රණය කිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිංහල ජන කොටස දැඩි අප්‍රසාදය පළ කළා. මේ වසරේ මැයි 7 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී කම්කරු පක්ෂයේ අගමැති අපේක්ෂකයා වන්නේද ඔහුයි. තම පණිවුඩය මගින් දෙමළ ජනතාවට පමණක් සුබ ප්‍රාර්ථනා කළ එඞ් මිලිබෑන්ඞ් මෙරට සිදුවූ බව කියන  යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් උදෙසා තවදුරටත් කටයුතු කරන බව අවධාරණය කළා. බ්‍රිතාන්‍යයේ සිංහල ජන කොටස මෙම ප්‍රකාශයට එරෙහිව ඔහු වෙත සන්දේශයක් භාරදීමටද නියමිත බවයි ලන්ඩන් වාර්තා සඳහන් කළේ. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් තම සිංහල දෙමළ අලූත් අවුරුදු පණිවුඩය නිකුත් කළේ මෙලෙසින්.

‘‘මේ අවස්ථාව මම දෙමළ ජන කොටසට සුබ ප්‍රාර්ථනා කරන්න යොදාගන්නවා. ඔවුන් බ්‍රිතාන්‍යයේ යහ පැවැත්මට විශාල දායකත්වයක් දැක්වූ ජන කොටසක්. සියලූ අංශයන් හිදීම එම දායකත්වය දැකිය හැකියි. කම්කරු පක්ෂය දෙමළ ජනතාවගේ මිතුරෙක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ අප තවදුරටත් රැදී සිටිනවා. එය කම්කරු පක්ෂයේ වගකීමක් ලෙසයි අප සළකන්නේ. දෙමළ ජනතාව සමඟ තවදුරටත් ඉදිරියේදීත් කටයුතු කිරීමටද අප සූදානම්.’’

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අගමැති අපේක්ෂකයාගේ මෙම පියවර පිළිබඳ පුදුමයට පත් නොවිය යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes