General18 November 2015

මරදානේ කතකට ගල් ගසා මරා දැමීමට නියෝග

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ මරදානේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක, ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඇය සෞදි අරාබියේදී තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් පැවැත්වීමේ චෝදනාවටයි. මෙම කාන්තාව විවාහක තැනැත්තියක් වන අතර, සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා අවිවාහක තරුණයෙක්.

වරද සම්බන්ධයෙන් ඔහුට ද කස පහර ලබාදීමට සෞදි අධිකරණය තීරණය කර තිබෙන බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ නඩුව නැවත සලකා බැලීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සෞදියේ තානාපති කාර්යාලය හරහා විමසීමක් කළ බව ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ සඳහා අවශ්‍ය සියලූ නඩු ගාස්තු පියවීමට ද විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ.  

මේ අතර, සෞදියේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය සිය නැගණියගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙනවිත් දෙන ලෙස මාතලේ - උකුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉල්ලීමක් කරනවා. මීට වසර දෙකකට පෙර ඔහුගේ නැගණිය, ඇගේ ස්වාමිපුරුෂයා සමග සෞදි ගෘහ සේවයට පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඇය ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්වුණු බව ඊයේ දිනයේදී ඇය සේවය කළ නිවසේ හිමිකරු දුරකථනයෙන් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මරණය තමන්ට සැක සහිත බවයි මියගිය කාන්තාවගේ සහෝදරයා වන එස්. උදය කුමාර් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes