General29 March 2017

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩු දෙකක් කල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩු දෙකක් කොළඹ මහාධිකරණයේදී අද කැදවනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36 දශම 5ක මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන පළාත් පාලන ආයතනවලට බෙදා හැරීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු අමාත්‍යවරයාට අමතරව දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නඩු පවරා තිබුණා.

පසුගිය 08 වැනිදා මෙම නඩුව කැදවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇපකරුවන් ඉදිරිපත් කිරීමට අද දක්වා කාලය ලබාදී තිබූ අතර ඒ අනුව ඔවුන් අද ඉදිරිපත් වූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පසුගිය නඩු වාරයේදී හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 03ක් නියම කළා.

මෙම නඩුව මැයි මස 05 වැනිදා යලි කැදවනු ඇති.

එමෙන්ම දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුලූ 04 දෙනෙකුට එරෙහි නඩුවද අද කොළඹ මහාධිකරණය හමුවේ කැදවනු ලැබුවා.

එම නඩුව මැයි මස 15 වැනිදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

Related recommendation
Hiru TV News | Programmes