General02 September 2017

තාක්ෂණ මෙවලම් උපයෝගී කර ගනිමින් උසස් පෙළට පෙනී සිටි සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමක්

උසස් පෙළ රසායන විද්‍යා විෂයට වංචනික ලෙස පිළිතුරු සැපයීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිසුවාට දිවි ඇති තෙක් විභාග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ඒ අනුව ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන කිසිදු විභාගයට පෙනී සිටීමට අදාළ සිසුවාට අවස්ථාව නොලැබෙන බවයි.

තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සම්බන්ධයෙන් අදාළ සිසුවා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු ලබන 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිසුවා මාර්ගයෙන් ලබා ගත් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරීමේ චෝදනා එල්ල වූ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයා ඇතුළු 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, ලබන 04 වන දා උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු අපේක්ෂකයන්ගේ විනය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදේශාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයන් මධ්‍යස්ථානයේදී සහ ඉන් පිටතදී කලහකාරී ලෙස හැසිරුණහොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීමට හා විභාගයේ ප්‍රතිඵල අවලංගු කිරීමට පියවර ගන්නා බවයි.

Related recommendation
Hiru TV News | Programmes