General08 September 2017

සාජා සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි හෝටල් නිවාස සංකීර්ණයකදී ශ්‍රී ලාංකික පවුලක් සියදිවි හානිකරගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයෙන් මෙම වාර්තාව කැඳවා ඇති බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඉකුත් 29 වනදා ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් තුන්දෙනෙකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි ගල්ෆ් පුවත් සේවය පසුගියදා වාර්තා කළේ.

55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු 54 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 19 හැවිරිදි පුතු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට එමඟින් දක්වා තිබුණා.

55 හැවිරිදි පිරිමි පුද්ගලයා මහල් සංකීර්ණයෙන් පැන සියදිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ බිරිඳ සහ පුතුනුවන්ගේ ශරීරයේ කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි අදාළ වාර්තාවේ දැක්වුණේ.

එමෙන්ම ඔවුන් සමග කැපුම් තුවාල සහිතව සිටි කාන්තාවන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන් මිය ගිය පුද්ගලයිගේ ඥාතින් බවයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කළේ.

කෙසේ වෙතත් අදාළ වාර්තාව  ලැබීමෙන් පසු මෙම සිද්ධියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ මාධ්‍ය වෙත කරුණු හෙළි කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියා සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes