General02 April 2018

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ බලය නිදහස් පක්ෂයට

පළාත්පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නිදහස් පක්ෂයේ ජයන්ත මාරසිංහ අද (02) තේරී පත්වුණා.

ඒ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයාට වඩා වැඩි ජන්ද 07ක්  ලබා ගනිමින්.

පසුගියදා පැවති ජන්ද විමසිමේදි දිඹුලාගල ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ නිදහස් පක්ෂයට ආසන 07 බැගින් හිමිවු අතර එක්සත් ජාතික පක්ෂය ආසන 06ක් හිමිකරගත්තා.

ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත්තේ් එක් ආසනයක් පමණයි.

කෙසේ වෙතත්, සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය විමසන අවස්ථාවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව සිටියේ නැහැ.

එසේම, ඡන්දය විමසන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ 4 දෙනෙකු නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ජයන්ත මාරසිංහ මන්ත්‍රීවරයාට සහය පළ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

අනතුරුව උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ සිසිර දේශප්‍රිය එම තනතුරට තේරී පත් වුණා.  

මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නීතීඥ මධුර විතානගේ අද තේරී පත්වුණා.

ඒ ඡන්ද 23 ක් ලබා ගනිමින්. එහි උප නගරාධිපති ධුරයට නිතරගයෙන් තේරී පත්වුණේ ප්‍රේමලාල් අතුකෝරල මන්ත්‍රීවරයායි.

සභාපති ධුරය සඳහා ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු නගරාධිපති ආර්.ඒ.ඩී. ජනක රණවක ඇතුළු නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ 5 දෙනෙකුගේ සහය ද හිමිවුණේ මධුර විතානගේ වෙතයි.

මේ අතර, අද (02) පෙරවරුවේ පැවැති බේරුවල නගර සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ භාෂා ගැටලූවක් මතුවීම හේතුවෙන්.

ස්වාධීන මන්ත්‍රීවරයෙකු ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් සිටියදී, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඊට විරෝධය පළ කිරීමත් සමඟයි එම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes