General01 January 2019

මෙරට හෙරොයින් බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය දෙහිවල බවට හෙළිවේ

රුපියල් මිලියන 3336කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය සොයා ගැනීමත් සමඟ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයෙන් සොයා ගැනුණු හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 278ක් බවයි.

දෙහිවල කවුඩාන පාරේ පිහිටි නිවසක් තුළ මෙම හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ මෙරට හෙරොයින් බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානය මෙය වන බවයි.

අදාළ නිවස පරීක්ෂා කිරීම්වලදී හෙරොයින් තොගයට අමතරව රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5ක් ද සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes