General01 August 2013

රතුපස්වල ජල ගැටළුවට මුල් වූ කම්හල තාවකාලිකව වැසේ.

පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු රතුපස්වල ජල ගැටළුවට මුල් වූ කර්මාන්ත ශාලාව සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට අද (01) තීරණය වුණා. ඒ, අද (01)පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදීයි. මෙම සාකච්ඡාවට අදාළ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් වෙනුවෙන් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. මෙහිදී තීරණය වී ඇත්තේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ස්වාධීන ආයතන 10 ක් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ සිදුකිරීමටයි. එම පරීක්ෂණයන්හි වාර්තා සති දෙකක් තුළ ලබාදීමට අදාළ ආයතන මෙම සාකච්ජාවේදී එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව ලබාදෙන තුරු මෙම කර්මාන්ත ශාලාව වසා දමන බවයි එහි පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ. ගැටළුවට ක්ෂණික පියවරක් ලෙස ජලයේ ආම්ලිකතාවය ඉතා ඉහළ අගයක පවතින ප්‍රදේශවලට බවුසර් මගින් නොමිලේ ජලය සපයන ලෙස ආරක්ෂක ලේකම්වරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම, මාස දෙකක් ඇතුළත එම ප්‍රදේශවල නළ ජලය සපයන ලෙසයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් දැනුම් දී ඇත්තේ.

වැලිවේරිය - රතුපස්වල ඇතුළු අවට ගම්මාන රැසකට බලපෑ ඇති පානීය ජල ගැටළුවට විසඳුම් ඉල්ලා ගම්පහ - බැලූම්මහර මංසන්ධියේ පැවති විරෝධතාවක් අද (01) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටි පුද්ගලයින් විසුරුවා හැරීමට යාමේදීයි මෙම උණුසුම් තත්ත්වය හට ගත්තේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු බැලූම්මහර නගර මධ්‍යයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සුමුදු අලගියවන්න.

[MP3]s64222_1[/MP3]                  

මෙහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ ගම්පහ මූලික රෝහලේයී. අප මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා.

[MP3]s64222_2[/MP3]                   

වැලිවේරිය - නැඳුන්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්තශාලාවක් හේතුවෙන් රතුපස්වල සහ අවට ප්‍රදේශවල භූගත ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පසුගිය සෙනසුරාදා සිට ඔවුන් මෙලෙස විරෝධතාවයන් හි යෙදී සිටිනවා. වැලිවේරිය - රතුපස්වල සහ අවට ප්‍රදේශවල ජනතාව අද දහවල් කාලයේදී වැලිවේරිය නගරයට එක්රැස් වුණේ මෙවැනි විරෝධතාවයක් සඳහායී. විරෝධතා පුවරු රැගෙන නගරයට එක්රැස් වූ ජනතාව කියා සිටියේ ජල මුලාශ්‍ර අපවිත්‍රවීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

[MP3]s64222_3[/MP3]                 

එම විරෝධතාවයට සහය පළ කරමින් වැලිවේරිය නගරයේ සියලූම වෙළඳසැල් වසා දමා තිබූ අතර, කළු කොඩිද ඔසවා තිබුණා. වැලිවේරිය නගරයට ප්‍රවේශ වන මාර්ග රැසක් ඔස්සේ තවත් ප්‍රදේශ කිහිපයක ජනතාව පසුව විරෝධතාවයට එක්වු අතර, මේ හේතුවෙන් නව නුවර පාරේ ගමනාගමන කටයුතු අඩාල වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු කියා සිටියේ. පසුව ප්‍රදේශවාසී ජනතාව වැලිවේරිය නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් තාවකාලික අට්ටාලයක් ඉදිකළ අතර, එම ස්ථානයේදීම ඔවුන් ආහාර පිසීම සිදුකරන අයුරු දක්නට ලැබුණා. ඔවුන් තවදුරටත් බැලූම්මහර මංසන්ධියේ සිට කඩුවෙල දක්වා දිවෙන නව නුවර පාර අවහිර කරමන් විරෝධතාවයේ නිරත වීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එහි සිටින හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර, මේ සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (01) දෙවැනි දිනටත් කැඳවනු ලැබුවා. එහිදී ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් කියා සිටියේ වැලිවේරිය ප්‍රදේශයේ ජනතා විරෝධයට ලක්වු කර්මාන්ත ශාලාවට අදාළව පොලීසිය ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට තරම් මෙතෙක් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි. මහේස්ත්‍රාත්වරයා පොලිසියට අද උපදෙස් දුන්නේ ප්‍රදේශයේ ජල මුලාශ්‍රවලට හානි වී ඇත්තේ අදාළ කර්මාන්ත ශාලාවෙන් දැයි සොයා බැලෙන වාර්තා කඩිනමින් ගෙන්වා ගන්නා ලෙසයි. ගම්පහ පොලිස් අධිකාරීවරයා වැලිවේරිය ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ඊයේ පළමු වරට අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. එහෙත් අදාළ කර්මාන්ත ශාලාව පිළිබඳ ලැබී තිබූ මහජන පැමිණිලි 04 ක් මත පිහිටා නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බැවින් අද දිනය දක්වා නඩුව කල් තැබීමටයි ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කෙසේ වෙතත්, අද (01) නඩුව යළි කැඳවු අවස්ථාවේදී ගම්පහ පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නේ මේ පිළිබඳව ඊයේ රාත්‍රිය වනවිට පැමිණිලි 25 ක් ලැබී තිබූ බවයි. අදාළ කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ප්‍රදේශවාසීන් කර්මාන්ත ශාලාවේ ප්‍රවේශ මාර්ග අවහිර කර තිබෙන බැවින් එම අවහිරතා ඉවත් කරදෙන ලෙසයි. එහෙත් අධිකරණය ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි. නීතිය සහ සාමය කඩවන්නේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය පොලිසිය සතුවන බවද ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මෙහිදී කියා සිටියා. ඒ අනුව මේ පිළිබඳ නඩු විභාගය යළි සලකා බැලෙන්නේ ලබන අගෝස්තු 22 වැනිදායි.

Related recommendation
Hiru TV News | Programmes