General20 September 2013

වීඩියෝ: පළාත් තුනේම ඡන්ද නීති කඩමින් ප්‍රචාරක කටයුතු තවමත්.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම ආරම්භවීමට ඇත්තේ පැය 13කටත් අඩු කාලයක්. කෙසේ වෙතත්, මැතිවරණ නීති කඩ කරමින් පළාත් තුනේම ප්‍රචාරක කටයුතු තවමත් සිදුවන බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන චෝදනා කරනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. එහෙත් ඉන් පසු මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි 28ක් තමන් වෙත වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළා.

ඊයේ (19) දිනයේ මෙන්ම අද (20) දිනයේ දී ද මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරුණු බවයි ඔහු සඳහන් කළේ.  මැතිවරණ නීතිය ක්‍රියාත්මක නොවන පොලිස් බලප්‍රදේශ කිහිපයක් කැෆේ සංවිධානය හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබදව කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ විශේෂයෙන් කුරුණෑගල, මහනුවර, පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් පොලිස් බල ප්‍රදේශ තුළ තවදුරටත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන බවයි. කටුගස්තොට පාලම ආසන්නයේ සවි කර ඇති මැතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම තවදුරටත් එලෙසින්ම පවතින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

 

Related recommendation
Hiru TV News | Programmes