General01 March 2015

ලක් රජයේ නියෝජිතයන් පිරිසක් මාලේ නුවරට

මාලදිවයිනේ වර්තමාන දේශපාලන අර්බුදය ගැන සොයා බැලීම සඳහා ලක් රජයේ නියෝජිත පිරිසක් මාලේ නුවර චාරිකා කිරීමට සූදානම් බව එරට ප්‍රවෘත්ති සේවාවක් සඳහන් කළා. මිනිවන් නිවුස් නැමැති මාලදිවයින් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ එරට විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කළ බවයි.

මාලදිවයින් ජම්හූරි පක්ෂයේ නායක ගාසිම් ඊබ්‍රාහිම් ජනාධිපතිවරයා සමඟ ඊයේ (28) මෙම සාකච්ඡාව පැවැත් වූ බවත්, එම ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා. මාලදිවයිනේ හිටපු පොලිස් කොමසාරිස් අබ්දුල්ලා රියාස් සහ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක හුසේන් රෂීඞ් හසන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි එහි දැක්වෙන්නේ.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූයේ ත්‍රස්තවාදී චෝදනා යටතේයී. මොහොමඞ් නෂීඞ් මෙන්ම මාලදිවයිනේ පසුගිය රජයේ ප්‍රබලයන් රැසක් එහිදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා බලපෑම් කරන ලෙස එරට විපක්ෂය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. මාලදිවයිනේ විපක්ෂ නියෝජිත කණ්ඩායම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි මාලදිවයින් පුවත්පත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes