General11 May 2015

උමාඔය කඳුළු කතා

උමාඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල බලපෑමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ ,ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති සිදුකළ විමර්ශනයේ දෙවැන්නයි.

සොබා සෞන්දර්යයෙන් අනූන බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රධාන කර ගනිමින් ආරම්භ වූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුමට අනුව එහි ඉදිකිරීම්වලින් සියයට 90 ක් සිදු කරන්නේ පොළොව අභ්‍යන්තරයේයි.

ඒ අනුව, භූගත ජල විදුලිබලාගාරයක් සහ කිලෝමීටර් 27 ක දුරින් යුත් උමං පද්ධතියක් ඊට ඇතුළත්.
ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතා සහ නිදහස් ජල අයිතිය උල්ලංඝණයවීම යන කරුණු හේතුවෙන් 1991 දී ප්‍රතික්ෂේප වන මෙම ව්‍යාපෘතිය 2008 වසරේදී නැවත ආරම්භ කරන්නේ ඉරාන රජයේ මැදිහත්වීම මතයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් සම්බන්ධයෙන් එය ආරම්භයේ පටන් ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

මේ වන විට මෙම ව්‍යාපෘතියේ බලපෑම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, වැලිමඩ, හාලිඇළ, බණ්ඩාරවෙල සහ ඇල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

ව්‍යාපෘති සැලසුමට අනුව පුහුල්පල ප්‍රදේශයත්, කරදගොල්ල ප්‍රදේශයත් අතර උමං පද්ධතිය ඉදි කිරීම් අරඹා කිලෝමීටර් 5 ක් පමණ දුරට කැනීම් සිදුකළ පසු ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සිදූවූයේ තම පාරම්පරික  භූමි අහිමිවීමයි.   

ඒ අනුව, 2014 දෙසැම්බර් 26 දින සිට මේ දක්වා  නිවාස 1750 කට වැඩි සංඛ්‍යාවක් ඉරිතැලීම්වලට ලක් කරමින් ,ලිං 386 ක ජලය සිද දමමින් උමා ඔය ව්‍යාපෘතිය ජනතාවට උරුම  කර ඇත්තේ  නිමාවක් නැති ගැටලු රැසක්.

තමන් ජීවිත කාලය පුරාවට හරි හබ්බකරගත් මුදල් වැය කරලා මිනිස්සු ගෙවල් හදන්නේ  තමන්ගේ දරු මුණුපුරන් සමග ජීවත් වීමේ  බලාපොරොත්තුවෙන්. නමුත්, ඒ බලාපොරොත්තු සුන් කරමින් තමන් හැදූ නිවස මේ ආකාරයෙන් ඉරිතැලීම්වලට ලක්වෙලා විනාශ වෙනවානම් ඔවුන්ගේ හෙට දවස කුමක් වෙයිද?

ව්‍යාපෘතියේ ඉදිකිරිම් වලින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැද්දෙඅරාව, අඹදණ්ඩේගම, හීල්ඔය, මකුල්ඇල්ල, කුරුදුගොල්ල, වෙහෙරගලතැන්න, උඩපේරුව සහ පල්ලේපේරුව ආදි ප්‍රදේශවලටයි.

මේ ප්‍රදේශවල නායයාම් සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉරි තැලීම්වලට ලක්වූ නිවාස බොහොමය  ජීවත් වීම ඉතා අවදානම් බව ප්‍රදේශවාසීන්ට මේ වනවිටත් දැනුම්දී තිබෙනවා.
ඉරිතැලීම් හා ගිලා බැසීම් හේතුවෙන් මකුල්ඇල්ල විද්‍යාලය ද එම ස්ථානයෙන් ඉවත් කරන්නට සිදුවුණා.

කුසුමා සමරකෝන් - ගුරුවරියක් - වෙහෙරගල තැන්න
මේ ප්‍රදේශයේ පළවෙනි උපාධිධාරියා බිහි වුණේ මේ ගෙදරින්. අපිත් හිතුවේ අපි මැරෙන්නෙත් මේ ගෙදර කියලා. දැන් අපිට උන්හිටි තැන් අහිමි වෙලා තියෙන්නේ. ඒ වේදනාව කාටවත් කියලා නිම කරන්න බෑ. සියලු බලාපෙරොත්තු අහිමි කළා මේ අසාර්ථක උමාඔය  ව්‍යාපෘතිය මැරීගෙන යන පරඩැල්වගේ අපි ඉන්නේ.

ගොවිතැන ප්‍රධාන ජීවන මාර්ගය වූ ප්‍රදේශයේ ජනතා‍වගේ සියලු ධනය වැය කර ඉදිකරගත් මේ නිවාස ඉරිතැලීම්වලට ලක්ව නටඹුන් බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසාම සංවර්ධනයේ ප්‍රතිලාභ වෙනුවට ප්‍රදේශ රැසක ජනතාවට සිදුව ඇත්තේ තම උරුමය ඉල්ලා බලධාරීන් හමුවේ හඩා වැටෙන්නටයි.

ඩී.ඒ. ඉන්ද්‍රාවතී - මකුල්ඇල්ල
4 දෙනෙක් එකතු වෙලයි ගෙවල් 4 හැදුවේ අත්තමට. මැරෙනකල් ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතන් හිටියේ මගේ නිවසේ. අපිට අපේ නිවසින් අයින් වෙන්න කිව්වා. ප්‍රාදේශිය ලේකම් තුමා ඇවිල්ලා. මං වැදලා ඉල්ලා සිටිනවා අපිට නිවසක් සදා ගන්න තැනක් දෙන්න. අපිට මේවට වන්දි මුදල් ලබාදෙන්න. අපිට සහනයක් සලසන්න කියලා. වෙන කියන්න දෙයක් මට නෑ.

බේබි  - මකුල්ඇල්ල
මෙච්චර කාලයකට අපි අහපු නැතිදේවල් අහන්න සිද්ධ වෙලා තියෙන්නේ වතුර මොන විදිහකින් නැති වුණාද කියන එක දන්නේ නෑනේ. ඇහුවාමයි වතුර නැති එක. බඩ පපුව පත්තු වෙනවා මොකක්ද මේ කරපු වැඩේ කියලා අපිට. ඉපදුනෙත් දැන් ජිවත් වෙන්නෙත් මකුල්ඇල්ලේ. හෙට අනිද්දා මොනවා වෙයිද දන්නේ නෑ.

හීල්ඔය, මකුල්ලඇල්ල ආදි ප්‍රදේශවල ළිං සිදීයාමෙන් අහිමි වන පානීය ජලය වෙනුවට සෑම දිනකම බවුසර මගින් ජලය ලබාදීමට කටයුතු කළත් බොහෝ ගැටලුවලට ස්ථීර විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බව අපට නිරීක්ෂණය වූ කරුණක්.

අනුලා - වෙහෙරගලතැන්න   
සමහර අය ඇවිල්ලා කියනවා මේවා ගිලා බහිනවා කියලා. සමහර අය කියනවා ගිලා බහින ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන් කියලා. කිසිම සතයක් මේ  වනතුරු අපිට ලබාදිලා නැහැ. අපිට ලිඛිත වාර්තාවක් දෙන්න බොන්න වතුර ටිකක් ගෙනත් දෙනවා බවුසර වලින්.


එච්.එම්.කේ. බණ්ඩාර - බැද්දේඅරාව
මේ ළගින්ම තමයි උමා ඔය ව්‍යාපෘතිය යන්නේ. නිලධාරීන් එනවා බලනවා. විසදුමක් දෙනවා කියලා තමයි යන්නේ. දැන් මාස 3 – 4 ක් වෙන්න ආවා. කිසිම කෙනෙක් කිසිම දෙයක් කරලා නැහැ. නන්නත්තාර වෙලා ඉන්නේ.

මහාචාර්ය ජිනදාස කටුපොත - භූ විද්‍යා අධ්‍යයන අංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල
එක තැනකින් භූ විද්‍යාත්මක ව්‍යාසනයක් තියෙනවා මෙතන. අනෙක් පැත්තෙන් සමාජ ආර්ථිකමය ව්‍යසනයක් තියෙනවා. මේ ව්‍යාපෘතිය දිගටම කරගෙන ගියොත් ලැබෙන ප්‍රතිඵලවලට වඩා හානිය ලැබෙන විශාලයි. කරදගොල්ලේ ඉදලා මකුල් ඇල්ල ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ කිලෝමිටර් 5 ක පමණ ප්‍රදේශයක්. ඉතුරු ටික ගියොත් එහෙම මං හිතන්නේ හිතාගන්නවත් බැරි විනාශයක් වෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඉදිරියට මහ වැසි එනවා ඒ වැසි වලින් තියෙන ළිං පිරෙන්නේ නෑ. උමගේ හිල් වැහුවත් ඒ කාන්දුවීම් වළක්වන්න බෑ. ඉදිරියට තියෙන භයානකකම තියෙන්නේ නායයාම් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඒක වළක්වන්න අමාරුයි.

සමන්ත විද්‍යාරත්න  - කැඳවුම්කරු උමාඔය  බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ.
බලපෑමට ලක්වන සියලු ජනතාවට කිසි අගහිගකමක් දෙන්නේ නැතුව ඉන්න ජීවන තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයකට නගා සිටුවනවා කියලා පොරොන්දුවක් දුන්නා. නමුත් අද වෙනකොට උන්හිටි තැන් හුගදෙනෙකුට අහිමියි. තාම වන්දි ගෙවලා නැහැ. සමහරුන්ගේ ජීවනමාර්ග අහිමි වෙලා. සමහරුන්ගේ නිවාස අහිමි වෙලා. කොටසක් ගිහිල්ලා ඌව - පරණගම කොටසෙත් වැලිමඩ කොටසෙත් පදිංචි කරලා තියෙනවා. ඔවුන්ට ඒ අදාළ යටිතල පහසුකම් නැහැ. ඉටිරෙදි ගහගෙන මඩු හදාගෙන ඉන්නවා. සමහරුන්ට යන්න එන්න පාරක් නැහැ. බොන්න වතුර නැහැ. අපි කියන්නේ සංවර්ධනය නතර කරන්න කියලා නෙමෙයි අපි කියන්නේ විනාශය නවත්වන්න කියලා. මේ වෙන්නේ විනාශයක්.

උමාඔයේ කඳුළු - පළමු වන කොටස



උමාඔය දෙවන කොටස







Related recommendation
Hiru TV News | Programmes