General25 May 2015

AH1, N1 මාරාන්තික වෛරසය ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතිරෙයි

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් සහ ඉන්ෆ්ලූවෙන්සා බී යන වෛරස් උණ රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකිරීමට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය පැය 24 පුරා විවෘතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එක් දිනක් තුළ රෝගය නිශ්චිතව හඳුනාගැනීමේ පහසුකම් එම ඒකකය තුළ ස්ථාපිත කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මීට අමතරව සියලූම රජයේ රෝහල්වලට අදාළ වෛරස් රෝග හඳුනාගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.

ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් සහ ඉන්ෆ්ලූවෙන්සා බී යනු වසරේ එක් කාලසීමාවක් තුළ මෙරට දක්නට ලැබෙන වෛරස් රෝග තත්ත්වයක්. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ මෙම රෝගයේ සීග්‍ර පැතිරයාමක් නිරීක්ෂණය කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ. පවතින කාලගුණික තත්ත්වයන්ද බොහෝවිට ඊට හේතුවිය හැකියි. දකුණ, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙම වෛරස් රෝග  තත්ත්වයන් ව්‍යාප්තිය වැඩිවශයෙන් නිරීක්ෂණය කර තිබෙනවා. පසුගිය සතියක කාලසීමාව තුළ තවත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තාවූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ගැබිණි මව්වරුන්, වයෝවෘද්ධ පුද්ගලයන්, වයස මාස 2 ට අඩු කුඩා ළදරුවන් සහ නිධන්ගත රෝග තත්ත්ව පවතින පුද්ගලයන් මෙම ඉන්ෆ්ලූවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රෝගයට නිසි ප්‍රතිකාර නොගතහොත් නිව්මෝනියාව වැනි රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වී මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes