General29 April 2017

කොන්දේසි කඩ කර ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව ඉදිකර ඇති බවට චෝදනා

ලෝක කම්කරු දින සැමරුමට තවත් ඇත්තේ දින දෙක කාලයක්. ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට තම මැයි දින පෙළපාලි සහ රැළි සදහා සූදානම් වන ආකාරය දක්නට ලැබෙනවා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන මැයි දින රැලියේ වේදිකාව ඉදිකිරීමේදී ගැටලූකාරි තත්ත්වයක් ඇති වූ බවට එහි සංවිධායකයින් චෝදනා කරනවා.

ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළියේ වේදිකාව ඉදිකිරීම සදහා වරාය අධිකාරිය සහ පොලිසිය අවස්ථා කිහිපයකදී ස්ථාන දෙකක් තමන්ට පෙන්වූ බවයි එහි සංවිධායකයෙකු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, වරාය අධිකාරිය පසුගිය 27 වනදා අදාළ වේදිකාව ගාලූමුවදොර පිටියේ ස්ථිර වේදිකාවට මීටර් 30 ක් දුරින් ඉදිකරන ලෙසට සංවිධායකයින්ට යළි ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

එහෙත්, ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ අදාළ ස්ථානයෙන් පරිබාහිරව ගාලූමුවදොර පිටිය මධ්‍යයට වන්නට වේදිකාව ඉදිකිරීමටයි.

මෙය තමන් ඉදිරිපත් කළ කොන්දේසි කඩ කිරීමක් බවයි ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මංගල පී ගුණසේකර ප්‍රකාශ කළේ.

අප මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගෙන් විමසීමක් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මුදල් ගෙවා ගාලූමුවදොර පිටිය වෙන් කර ගත්තේ ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය ආකාරයට භාවිත කිරීමට බවයි.

Related recommendation
Hiru TV News | Programmes