General06 May 2017

උණුසුමත් සමඟ ජල ඉල්ලුම ඉහළට - කොළඹින් බැහැරට ජල සැපයුමේදී දුෂ්කරතා

වියළි කාලගුණයත් සමඟ පවතින දැඩි උණුසුම නිසා ජල ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජල ඉල්ලුම සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් උපරිම ජල සැපයුමක් ලබාදීමට උත්සාහ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.කේ. අන්සාර් සඳහන් කළා.

කෙසේ නමුත්, කඳුකර හා දුරබැහැර ප්‍රදේශවලට ජලය සැපයීමේදී දුෂ්කරතා මතුව ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, පවතින වියළි කාලගුණයත් සමඟ ජල විදුලි නිෂ්පාදය සීමාවුවද කිසිලෙසකත් විදුලි බිල වැඩි කිරීමට සූදානම් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරියේදී නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමඟ වැසි ලැබීමේ ප්‍රවනතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ පවතින වියළි කාලගුණික තත්ත්වය ද මේ මස අවසන් වන විට පහව යනු ඇති බවයි.  


Related recommendation
Hiru TV News | Programmes