General21 June 2018

තැපෑලේ සහයට දුම්රිය, සෞඛ්‍ය, ඇතුලු වෘත්තිය සමිති 18 ක්

සිය වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය හිමිවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සෞඛ්‍ය, ටෙලිකොම්, බැංකු සහ දුම්රිය ඇතුලූ වෘත්තිය සමිතිවල සහය ඉදිරියේදී සිය වර්ජනයට හිමිවන බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ එම වෘත්තිය සමිතිවල නායකයින් සමඟ සාකච්ඡා සිදුකළ බවද ඔහු සඳහන් කළා.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වුණා.

මීට පෙරද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, ඒවාද අසාර්ථක වුණා.

තැපැල් සේවකයන් දින 11ක් තිස්සේ ක්‍රියාත්මක කරන වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබෙනවා.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ඊයේ (20) පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක්ද ආරම්භ කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තිය සමිතිය තවදුරටත් තීරණය කර ඇති බවයි.   

Related recommendation
Hiru TV News | Programmes