General08 March 2020

කොරෝනා නිසා නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක් - මලයාසියාව සහ තායිලන්තය, සුපිරි මගී නෞකාවලට තහංචි පනවයි

කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණයට අනුව ශ්‍රී ලංකාවේ සිට කුවේටය දක්වා ගුවන් ගමන් මේ මස 12 වන දා දක්වා අත්හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළා.

කෙසේ වෙතත්, 13 වන දා සිට කුවේටය දක්වා සාමාන්‍ය  කාලසටහනට අනුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන බවයි ඔවුන් කියා සිටියේ.

කොරෝනා වෛරසයේ පැතිර යාම සැලකිල්ලට ගෙන කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා ඊයේ තීරණය කළේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, සිරියාව, ලෙබනනය සහ ඊජිප්තුව යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමටයි.

කොවිඞ් - 19 වෛරස් ආසාදිතයන් සිටිය හැකි බවට සැක පළවීම හේතුවෙන් සුපිරි මගී නෞකාවලට සිය රටේ වරාය වෙත ඇතුලූවීම මලයාසියාව සහ තායිලන්තය වළක්වා තිබෙනවා.

කොස්ටා ෆෝටුනා නැමති මගී නෞකාව සිකුරාදා දිනයේ තායිලන්තයේ ෆූකට් දිවයින වෙත පැමිණි නමුදු එය නැංගුරම්ලෑම බලධාරීන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එය ඉන් පසු ගමන් කළේ මලයාසියාවේ පෙනැන් වරාය වෙතයි.

එහි ද නෞකාව නතර කිරීමට අවසර නොලැබුණු අතර, මලයාසියානු බලධාරීන් ප්‍රකාශ කළේ සියලූම මගී නෞකාවලට සිය රටේ වරාය වෙත ඇතුලූවීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බවයි. කොස්ටා ෆෝටුනා නෞකාවේ ඉතාලි ජාතිකයන් 64  දෙනෙකු සිටින අතර, ඉතාලිය කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ යුරෝපීය රාජ්‍යයයි. කෙසේ නමුත් මෙම නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සිටින බවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

තායිලන්ත සහ මලයාසියාව හරවා යවන ලද කොස්ටා ෆෝටුනා නෞකාව ඉන් අනතුරුව සිංගප්පූරුව දෙසට ගමන් කළ බව විදෙස් වාර්තා සඳහන් කළා. පසුගිය පෙබරවාරි මාසයේ වෙස්ටර්ඩෑම් නැමති සුපිරි මගී නෞකාව කොරෝනා වෛරස් ආසාදිතයන් පිළිබඳ සැකය හේතුවෙන් අග්නිදිග ආසියාතිත රටවල් 5ක නැංගුරම්ලෑම ප්‍රතික්ෂේප කෙරුණු අතර, පසුව ඒ සඳහා අවසර ලබා දුන්නේ කාම්බෝජයයි.

ඇමරිකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාවද 429 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම නිව්යෝක් නගරයේ ආසාදිත සංඛ්‍යාවද 89 දක්වා ඉහළ යාමත් සමඟ එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නගරාධිපති ඇන්ඩෲ කුවෝමෝ කටයුතු කළා. මීට අමතරව සැන්ප්‍රැන්සිස්කෝ නුවරට ඔබ්බෙන් සුපිරි නෞකාවක 3500 කට අධික පිරිසක් තවදුරටත් රඳවා තැබීමට පියවර ගෙන ඇත්තේ එහි කොරෝනා වෛරස් ආසාදිතයන් සිටීම හේතුවෙන්. එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩකට වැඩි සංඛ්‍යාවක මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවනවා.

එමෙන්ම, කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ඉතාලියේ ලොම්බාඩියා ඇතුළු පළාත් 14ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත් අතර, මේ වන විට උතුරු ඉතාලියේ මිලියන 16ක පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම, ලොම්බාඩියා ඇතුළු වසා දැමුණු පළාත් තුළ ජීවත් වන  ඕනෑම අයෙකුට සංචාරය කිරීම සඳහා විශේෂ අවසරයක් ද ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ඉතාලිය පුරා පාසල්, ශරීර සුවතා මධ්‍යස්ථාන, කෞතුකාගාර, රාත්‍රී සමාජශාලා මුළුමනින්ම වසා දමන බවයි එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ ප්‍රකාශ කර ඇත්තේ. ඉතාලියේ ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති වැනීසිය ද මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඉතාලිය තුළ විවාහ උත්සව මෙන්ම ආගමික හා සංස්කෘතික උත්සව තාවකාලිකව තහනම් කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මාලදිවයිනෙන් ද කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් දෙදෙනෙකු අද පළමු වරට වාර්තා වුණා.

ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු මාලදිවයිනේ සිදුකළ සංචාරයක් අතරතුර සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර කළ හෝටලයේ වෛද්‍යවරයාට සහ තවත් සේවකයෙකුට මෙලෙස එම වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව තුරේදු සහ ආසන්න දූපතක් වසා දැමීමට මාලදිවයින් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාළ හෝටලයේ ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු පමණ සේවය කරන බව වාර්තා වනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 6442 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ද 3594 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes