General09 March 2020

විදෙස්ගතවී පැමිණි අයට දින 14ක්, නිවෙස් තුළ රැදී සිටින්නැයි ඉල්ලීමක් - විදෙස් සංචාර සීමා කරන ලෙසත් දැනුම් දෙයි

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීම හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

හෙට අලූයම 4 සිට දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන මගීන් පළමුව මඩකලපුව පුනානි හි පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ පොළොන්නරුව - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමට නියමිතයි.

ඔවුන් දින 14ක කාලයක් නේවාසිකව නිරෝධානයන ලක් කෙරෙනවා.

එමෙන්ම, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද නිරීක්ෂණ කටයුතු වල නිරත වුයේ හෙට සිට ආරම්භ කෙරෙන නිරෝධායන කටයුතු පිළිබදව සොයා බැලීම සඳහායි.

මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය හැර සෙසු රටවලට ගොස් යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ට ද දින 14ක කාලයක් නිවෙස් තුළම රැඳී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 3900ක් මේ වන විටත් ඔවුන්ගේ නිවෙස්වලදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා එක්ව සෞඛ්‍ය අංශ විසින් අධීක්ෂණය කරන  බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මීට අමතරව හැකිතාක්දුරට විදේශ සංචාරවල නිරතවීම අවම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මෙවන් පසුබිමක් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස එම තීරණයට එළඹි බවයි.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන් රටට ඇතුලූ කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටාර් රජය තීරණය කර තිබෙනවා.



Related recommendation
Hiru TV News | Programmes