General03 April 2020

දිල්ලියේ ඉස්ලාමීය ආගමික සමුළුවට එක්වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කෙරේ

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමට මූලික වශයෙන් ඉවහල් වූ බවට විශ්වාස කෙරෙන නවදිල්ලියේ පසුගිය මාසයේ පැවති තබ්ලිගි ජමාට් සංවිධානයේ සමුළුවක සහභාගි වූ විදේශිකයන් 960 දෙනෙකුගේ වීසා තහනම් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවලින් ඒ සඳහා පැමිණි 1300කට අධික පිරිසක් ඉන්දියාවේ තවදුරටත් රැදී සිටින බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය ස්වදේශ අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 550කට වැඩි පිරිසක් දිල්ලියේ නිසමුද්දීන් ප්‍රදේශයේ පැවති ආගමික සමුළුවට සහභාගි වූ අයයි.

ඉන්දීය රජය විසින් ඒ සඳහා පැමිණි විදේශිකයන්ගේ සංචාරක වීසා තහනම් කර ඇති අතර, ඔවුන්ට නැවතත් ඉන්දියාවට පැමිණීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවෙන් නික්මීමට පෙර කොවිඞ් නයින්ටීන් රෝග ලක්ෂණ පවතින්නේ දැයි පරීක්ෂාවට ලක් කරනු ඇති.

මේ අතර, දිල්ලියේ නිසමුද්දීන් ආගමික සමුළුව සඳහා අන්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බවට ලක් රජය ඉන්දීය බලධාරීන් දැනුවත් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

එමගින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සහ මෙරට අන්තවාදීන් අතර සම්බන්ධතාවක් අඛණ්ඩව පැවතුණ බවයි.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා එක්වූ අන්තවාදී පිරිස් ද ඉන්දියානු අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes