General19 March 2015

ජාතික ගීය දෙමළ ගැයුවට විරෝධය

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තීරණයක් ගෙන ඇත්නම් ඊට තම පක්ෂය විරෝධය පළ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පෙරේදා රැස්වූ ජාතික විධායක සභා රැස්වීමේදී ඊට අදාල යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික විධායක සභාව නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතු බවට යෝජනාවක් තමන් ජාතික විධායක සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ජාතික ගීය ගයන බස තීරණය කිරීම හදිසි අවශ්‍යතාවක් නොවන බවයි.

මහජන එක්සත් පෙරමුණ ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ යෝජනාවට එහි නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද විරෝධය පළ කළා.
Related recommendation
Hiru TV News | Programmes