General27 May 2016

මෝටර් රථ සහ ත්‍රිරෝද රථ මිල ඉහළට

ආනයනික වාහන සදහා වන නිෂ්පාදන බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මෝටර් රථවල සහ ත්‍රිරෝද රථවල මිල ගණන් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ධාරිතාව ඝණ සෙන්ටිමීටර් දහස ඉක්මවූ වාහන සදහා අදාළ ඒකක බදු ඉහළ නැංවීම බලපවත්වන අතර, කුඩා ප්‍රමාණයේ වාහන සහ විද්‍යුත් වාහන සදහා යම් සහනයක් එමගින් ලබාදී ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කළේ.

නව බදු ක්‍රමය සමග විශේෂයෙන් සුඛෝපභෝගි වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති.

වාහන ආනයනික බදුවල විෂමතාවක් නිරවුල් කිරීම සදහා නව බදු ක්‍රමය හඳුන්වාදී ඇතත් එහි ද විෂමතා පවතින බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ වෙතත්, විශේෂයෙන් ඝන සෙන්ටිමීටර් දහසට අඩු, කුඩා මෝටර් රථ ආනයනය කරන සමාගමක ප්‍රකාශකයෙකු සදහන් කළේ කුඩා මෝටර් රථවල මිල ගණන් ද නව බදු වැඩි කිරීම අනුව ඉහළ යන බවයි.

ඔහු කියා සිටියේ ඒකක බදු ඉහළ නැංවීම යටතේ ඝන සෙන්ටිමීටර් දහසට අඩු වාහන වල ධාරිතා ඒකකයකට පැවති බද්ද ද රුපියල් 1500 දක්වා ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව කුඩා මෝටර් රථ මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවන බව එම සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.




Related recommendation
Hiru TV News | Programmes