General18 January 2017

නියඟයෙන් කුඹුරු අක්කර එක්ලක්ෂ විසිදහසක් අවදානමේ

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර එක්ලක්ෂ 20,000 ක් අවදානම් තත්ත්වයේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වියළි කාලගුණය නිසා ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අද(18) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 33 දක්වා මේ වනවිට පහත බැස තිබෙනවා.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සදහන් කළේ.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඒ.ඒ.අන්සාර් කියා සිටියේ ලබන මාර්තු මස අවසාන වනතෙක් ජනතාවට පානීය ජලය ලබාදීමට හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, අනිද්දා සිට උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මද වැසි අපේක්ෂා කරන අතර ප්‍රමාණවත් වර්ෂාපතනයක් මාර්තු මස අවසානයේ බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes