General31 January 2017

ආන්දෝලනයට තුඩු දුන් සයිටම් නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය නිම කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට නීත්‍යානුකූල අවසරය හිමි වන බව අභියාචනාධිකරණය අද තීන්දු කළා.

ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා විසින් ප්‍රකාශයට පත් කරමින්.

තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් සහ වෛද්‍ය සභාව ඇතුළු 17 දෙනෙකු නම් කර තිබුණා.

සයිටම් ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභා පණත යටතේ  ලියාපදිංචි ආයතනයක් බැවින් එම ආයතනයෙන් ලබාදෙන උපාධිය නීත්‍යානුකූල බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ කියා සිටියේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ඉදිරිපත් කළ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දිනයේ ද අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඩ  විරෝධතාවක නිරත වුණා.

එම ස්ථානයේ සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ වෛද්‍ය සිසුන් කළු පැහැති මුඛ වාඩම් පැළඳ, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මීට එක්ව සිටි බවයි.


Related recommendation
Hiru TV News | Programmes