General24 February 2017

හොර සරසවි සිසුවෙකු අත්අඩංගුවට

සිසුවෙකු ලෙස විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම් කළ අපරාධ රැසකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් ලැප්ටොප් පරිගණක 50 කට වැඩි ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර, ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු දිවයිනේ ඇති විශ්වවිද්‍යාල 07 ක ලැප්ටොප් මෙලෙස සොරකම් කරගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මහරගම ප්‍රදේශයේ රැඳී සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මහර බන්ධනාගාරයේ සිටියදී පළා ආ පුද්ගලයෙකු වන අතර, මොහුට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටද පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ලැප්ටොප් පරිගණක අස්ථානගත වී ඇත්නම් වහාම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙසටයි.

දැනට සැකකරු භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය භාරයේ පසුවන බවත්, ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ලබාගත හැකි බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes