General04 April 2018

අගමැති කොන්දේසි 10 කට එකඟ වූ බව දෙමළ සන්ධානය කියයි

විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි 10 ක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා.

දෙමළ ජාතික සන්ධානය විසින් මීට පෙර කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඉන් 10 කට පමණක් අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බවයි එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

උතුර - නැගෙනහිර ගැටළුවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදීම, මීළඟ මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම, ආරක්ෂක අංශ භාරයේ පවතින උතුර - නැගෙනහිර සියලූ ඉඩම් හිමිකරුවන්ට නැවත භාරදීම, දේශපාලන සිරකරුවන් සියලූදෙනා නිදහස් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම යන කොන්දේසිවලට අගමැතිවරයා එකඟතාව පළකර ඇති බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මීට අමතරව උතුර - නැගෙහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව විසඳීම, උතුර - නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයන් පත් කිරීම, පළාත් සංවර්ධන කාර්යයන් හිදී පළාත් සභා දෙකේ මතයට ගරු කිරීම සහ පළාත් සභා ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම යන කොන්දේසිද ඊට ඇතුළත් වන බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes