General25 May 2018

දකුණේ උණ රෝගයෙන් හම්බන්තොටට වැඩි බලපෑම්

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන උණ රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.පී.ආර්.එස්.චන්ද්‍රසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තංගල්ල, වලස්මුල්ල සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම රෝගීන් වාර්තා වන බවයි.

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීමද ජූනි 4 වනදා දක්වා කල් දැමීමට බලධාරීන් පියවර ගත්තා.

මීට අමතරව උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාප 08 කට අයත් පාසල්වල ප්‍රාථමික අංශද මීට පෙර දින දෙකක් වසා තැබීමටයි පළාත් අධ්‍යාපන කාර්යාලය පියවර ගත්තේ.

කෙසේ වෙතත්, එම අධ්‍යාපන කලාප අටට අයත් පාසල් එළැඹෙන සඳුඳා දිනයේදීද වසා තැබෙනු ඇති. රෝග තත්ත්වය ව්‍යාප්තවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

දකුණු පළාතේ පැතිර යන උණ රෝග තත්ත්වය හේ්තුවෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු  මියගොස් ඇති අතර, රෝගීන් 400 පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

 
Related recommendation
Hiru TV News | Programmes