General29 October 2018

සේවක වර්ජනයෙන් තෙල් බෙදාහැරීම නවතී - පිරවුම්හල් අසල දිගු පෝලිම්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩාලවී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන ලබාගැනීමට ජනතාව එක්රැස්වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට  දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ නිසා ඇතැම්  ඉන්ධන පිරවුම්හල් අසළ  රථවාහන තදබදයක් පවතින බව වාර්තාවනවා.

මේ වනවිට ඉන්ධන බෙදාහැරීම මුළුමනින්ම අඩාල වී ඇති බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ද කියා සිටියා.

දෙමටගොඩ, ඛනිජතෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පසු තරුණයෙකු මියයාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වහා අත්අඩංගුවට ගත යුතු බව පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති ඊයේ රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළා.

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග, සිය ආරක්ෂක නිලධාරින් සමඟ ඊයේ පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බවට චෝදනා කරමින්.

Related recommendation
Hiru TV News | Programmes