General19 February 2019

හෝර්ටන්තැන්න වන උද්‍යානයේ විදේශිකයන් මෙහෙය වූ සත්ත්ව ජාවාරමක්

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සිටින කෘමි විශේෂ විදේශයන් වෙත රැගෙන යාමේ ජාවාරමක නිරත වූ චීන ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සතුව ජාතික උද්‍යානයෙන් අල්ලා ගත් කුරුමිණි විශේෂයට අයත් කුරුමිණි දස දෙනෙකු පමණ සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන සතුන් සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබියදීත් මෙම චීන ජාතිකයින් දෙදෙනා සතුන් ජාවාරමේ නිරත වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ වන සතුන් සහ ශාඛ කොටස් එක් රැස් කිරීමේ චෝදනාවලට වරද පිළිගත් විදේශිකයන් පස්දෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂ 40,000 ක දඩයක් ද පසුගිය දා නියම කෙරුණා.

වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත බලාත්මක වූ 1937 වසරේ සිට මේ දක්වා වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩ මුදල ද මෙය වනවා.
Related recommendation
Hiru TV News | Programmes