General03 February 2015

ඇමති වේලායුදන්ගෙන් කරුණානිධිට පණිවුඩයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව වැවිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදන් ඉන්දියාවේදී ප්‍රකාශ කළා. තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි පසුගිය ඉරිදා හමුවූ වේලායුදන් රාජ්‍ය අමාත්‍යවරයා නව නායකත්වය යටතේ පවතින වාතාවරණය පිළිබදව ඔහුට පැහැදිලි කර තිබෙනවා. විශේෂයෙන් උතුරේ දෙමළ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට නව රජය අවස්ථාව සලසමින් සිටින බවයි ඔහු කරුණානිධි වෙත පෙන්වා දී ඇත්තේ.

තවදුරටත් කදවුරුවල සිටින අවතැන්වූවන් පුනරුත්ථාපනය කිරීම නව රජයේ ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් බවයි රාජ්‍ය අමාත්‍ය වේලායුදන් සඳහන් කළේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවත්, ඔහු අවධාරණය කළා. කෙසේ නමුත්, කිසිවෙකුට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය බල නොකරන බවයි ඔහු කියා සිටියේ. යුද්ධයේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් කෙරෙහි රජය විශ්වාසය තබන බව වේලායුදන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.  

මේ අතර, ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දියාවේ දී උපන් ළමයින් 16,000ක් සිටින බව රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රකාශ කළා. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය හෝ ඉන්දීය පුරවැසිභාවය නොමැති අතර, හුදෙක් සරණාගත තත්ත්වයක් පමණක් හිමිව ඇති බවයි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් පිළිබද කටයුතු කරන එම ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes