General01 July 2016

මහ බැංකු අධිපති පත් කිරීම කල් යයි ?

මහබැංකුවේ නව අධිපතිවරයා පත් කිරීම සදහා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නිර්දේශය අවශ්‍ය නිසා ඔහු දිවයිනට පැමිණෙන තෙක් එම පත් කිරිම සිදුනොකෙරන බව අග්‍රාමාත්‍ය  කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

මහබැංකු අධිපති ධුරයේ පුරප්පාඩුවට සුදුස්සෙකු නම් කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි ස්ථාවරයක සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.  

චීනයේ - බීජිං නුවර පැවැත්වෙන ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සදහා දිවයිනෙන් බැහැරව ගොස් සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක සති අන්තයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

ඉන් අනතුරුව නව මහබැංකු අධිපතිවරයා පත් කෙරෙන බවයි  එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, අද (01) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ නව මහබැංකු අධිපතිවරයා පත් කිරීමට නියමිත බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ලබන සදුදා ජනාධිපතිවරයා වෙළද සංගම් නියෝජිතයින් මුණ ගැසෙන අතර, එදින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes