General26 March 2019

විදුලි කප්පාදුව ගැන, ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

මැයි මස අවසන් වීමට පෙර ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණහොත් විදුලිය කප්පාදු කිරීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ අවදානමක් මතුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජල - විදුලිය නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැසි නොලැබීම හේතුවෙන් මේ වන විටත් විදුලිය නිෂ්පාදනය අර්බුදයක පවතින බවයි.

හදිසි විදුලි මිලදී ගැනීමකට ද විදුලිබල අමාත්‍යාංශයෙන් තවමත් අවසරයක් ලබාදී නැහැ.

ඒ හේතුවෙන් පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කළ යුතු බවටයි විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලීමක් කළේ. දැනට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ ඊයේ දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඊයේ (25) ප්‍රකාශ කළේ තවත් දින 9ක් වැනි කාලසීමාවක් තුළ පමණක් විදුලි කප්පාදු කිරීම සිදුවනු ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes