තමන්ට එරෙහිව ICC ය පරීක්ෂණයක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිගනී

Sunday, 24 September 2017 - 16:38

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+ICC+%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකය පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳ සතුටට පත්වන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ මෙම පරීක්ෂණයට අදාළව තොරතුරු ඇති සහ තොරතුරු දන්නා සියල්ලන්ට අදාළ තොරතුරු මෙන්ම සාක්ෂි ප්‍රකාශ කිරීම හා ලබාදීම මගින් මෙම පරීක්ෂණයට සහය වන ලෙසට ඉල්ලා සිටින බවයි.

එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානයට සහ ක්‍රීඩකයින්ගේ කීර්තිනාමයට අනවශ්‍ය ලෙස හානි පැමිණවීමකින් තොරව නිසි අයුරින් ක්‍රීඩාවේ දියුණුවට කටයුතු කළ හැකි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෑත කාලීනව විවිධ පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පළකර ඇති චෝදනා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශණයක් ආරම්භ කර ඇති බව ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

ඊයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ පරීක්ෂණයට පුර්ණ සහයෝගය ද ලබාදෙන ලෙසටයි.

පසුගිය කාලයේ විවිධාකාරයෙන් දෝෂාරෝපණයන්ට ලක්වු ජාතික ක්‍රීඩකයන්ට සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මෙය මහගු අවස්ථාවක් වනු ඇතැයි ද ඈෂ්ලි ද සිල්වා කියාසිටියා.

මෙම පරීක්ෂණය ඉතා කඩිනමින් සම්පුර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කවුන්සිලය සමග සමීපව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

එමගින් චෝදනා එල්ලවු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ඉතා ඉක්මනි්න අවසන් කර ඔවුන්ට ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය නිදහස සහ මානසික ඒකාග්‍රතාවය ලබාදීමට කටයුතු කරන බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තහවුරු කළා.

ඒ අනුව අයි.සී.සී. දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ බවයි එමඟින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පවතින බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පදනමක් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් සඳහන් කළා.

මෙරට ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩකයන් 40දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලා සිටියා.

මේ අතර ක්‍රිකට් අර්බුධයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්බන්ධ බවට තමන් කළ ප්‍රකාශ පිලිබඳ සොයාබැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම චෝදනාවන්ට ලක් වූ පුද්ගලයන් විසින් පාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදුකෙරෙන පරීක්ෂණයක් හරහා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

පසුගිය 9 වැනිදා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වර්තමාන ක්‍රිකට් අර්බුධය පිලිබඳ කරුණු කිහිපයක් අනාවරණ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්‍ය පරිදි කණ්ඩායමේ තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශ පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

මෙම නිවේදනයට ප්‍රතිචාර ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අද නිවේදනයක් නිකුත් කළ අතර ක්‍රිකට් ආයතන මාධ්‍ය නිවේදනයේ වැරදි ලෙස පෙන්වා දී ඇති පරිදි තමන් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල කර නොමැති බව එහි සඳහන් වනවා.

එමෙන්ම තමන් පෙන්වා දුන් අක්‍රමිකතා වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ද සම්බන්ධ වී තිබිය හැකි බැවින් මෙම ප්‍රකාශ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මෙම නිවේදනයේ සඳහන්.

එමනිසා තම චෝදනා විමර්ශනය සඳහා කොමිසමක් පත් කරන ලෙසට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.