General14 July 2021

රටවල් කිහිපයක තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් ඇමති හමුවෙයි (ඡායාරූප සහ වීඩියෝ)

රටවල් කිහිපයක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ අද (14) එම අමාත්‍යංශයේදී මෙම හමුව පැවති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙසට සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට ඔහු මෙම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මුණ ගැසීම විශේෂත්වයක්.

මෙහිදී ඇමරිකාව. ජර්මනිය. රුසියාව. චීනය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන් මෙන්ම ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරුන් මුදල් ඇමතිවරයා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡාවල නිරතවී තිබෙනවා.

මෙහිදී බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙල සඳහා සහය අපේක්ෂා කර බවයි.

ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද රජයේ අවදානය යොමුව ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි ශ්‍රී ලංකා රජය දක්වන උනන්දුව පිළිබඳ ප්‍රසාදය පළකරන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය ඉදිකිරීම්කරුවන් යොදාගැනීම පිළිබඳ තම ප්‍රසාදය පළකරන අතර ඊට අවශ්‍ය සහය ඉදිරියටත් ලබාදීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල් කාර්තුව තුල 4.7%ක පමණ මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳ සතුටුදායක විය හැකි බවයි.

එය ඉදිරියේදී 5.5%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම ද්වී පාර්ශවීය වෙළඳ කටයුතු වඩාත් සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා කැමැත්ත පළ කළ බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.

මේ අතර දැනට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන එන්නත් පහසුකම් අවශ්‍යතාව පරිදි ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන අතර තම ඉහළ පෙලේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ පවතින ආර්ථික තත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඊට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි චීන තානාපතිවරයා කියාසිටියේ.

දැනට ශ්‍රී ලංකාව තුල පවතින ජර්මානු තාක්ෂණ විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයින් යොමු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට තම රජය අපේක්ෂා කරන බව ජර්මානු තානාපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ ඇමරිකා තානාපතිවරිය කියාසිටියේ ද්වීපාර්ශවීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සම අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

රජයේ හරිත ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ තානාපතිනිය LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා ඉදිරියටත් සිය රජයේ සහය ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා හමුවූ රුසියානු තානාපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

එන්නත් නිශ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි ඔහු කියාසිටියේ.



Related Recommends
Hiru TV News | Programmes